Thursday, February 2, 2017

හිමගිරි අරණේ, මනමේ කුමරිය



හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි.... අසලක කිසිවෙකු හෝ නැත. දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය. 

ඔව්.... කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට, කටපුරා නුඹට කියන්න ට හැක, "අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව..."

නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ හැඩිදැඩි සිරුර ට ආලය කර, හිම ගිරි අරණක  රැජින ක වීමට සිහින දැකපු, එතෙක් කල් අසලින් වෙලුනු, ප්‍රේම ගී ගායනා කරපු මනමේ කුමරුන් මරන්නට, අසිපත වැද්දෙකු අතට දුන් මාගේ නොගැඹුරු ච්ත්තාකල්පනයන්ය, මාගේ ළඳ බොළඳ මානසිකත්වය ය. 

ඉතින් සරදමින් හැඩගැන්වූ ස්වරයෙන් නුඹට කිව හැක්කේ අන්න බලන් කුමරිය මනමේ, තනිවී ඇත හිම ගිරි අරණේ කියා ය. 

මම කිසිවක් නොකියමි කිමද වැදි රජුට පෙම් කල බව කීවේ ද නුඹම ය. කඩුව ඔහු අතට දුන් බව කීවේ ද නුඹම ය. මනමේ කුමරා මරණයට පත් වූයේ මා නිසා බව කීවේ ද නුඹම ය.

මෙහි මනමේ කුමරයා හෝ වැදි රජු නොවැදගත් චරිත වන්නේ මාගේ ඒ නොගැඹුරු චිත්තාකල්පන නිසාවෙන් කඩුව වැදි රජුට දුන්නා යැයි ඔබ කියනා කතාවට වැඩි වටිනාකමක් හිමි වන නිසාවෙන් බව ඔබ ත් හොදාකාරවම දන්නවා යැයි මම සිතමි. 

මනමේ කුමරු ට කඩුව දුන්නා යැයි  නුඹ කිවහොත්, බරණැස රජ සැප විඳිනට ඇති ආසාවෙන් නිර්නාමික, ගිරි අරණක වෙසෙන වැද්දෙකු ගේ පපුව කඩු තුඩකින් පසා කරන්නට හැකි වූ පවුකාරිය වන්නේ ද මම ම ය. මනමේ කුමරුන් මරන්න ට කඩු ව වැදි රජු ට දුන හෙයින්, එහි වැරදිකාරිය වී ඇත්තේ ද මම ම ය.

මෙම කතාවේ කුමන අවසානයක් ගැන සිතුව ද අවසන ඔවුන් දෙපලම , කතාවේ අවසානය ගැන ඇති වගකීමෙන් නිදහස් කොට මගේ සිතිවිලි හා තීරණ වල දිග පළල මැනීමට, සමාජයී ය ආකෘතිය නැමති කෝදුවත්  රැගෙන, නඩුව නුඹම අසා, ඇසින් දුටු සාක්ෂි නුඹ ම දිවුරා පවසා,තීන්දු ව ද නුඹ ම ගෙන වරදකරු මා කොට අවසානය. 

මනමේ කුමරිය අවසන නොදන්නා හිම ගිරි අරණක, ඇගේ වරදින් ම, තනිවී ඇති බව පමණක් නුඹ හට කීම ට ඇත. 

ඔව්, වැදි රජු ට පෙම් බැන්දේ ද මනමේ කුමරිය ම ය. මනමේ කුමරුන් මරා දැම්මේ ද මනමේ කුමරිය ම ය. වෙන කිසිවකු ගේ වැරද්දක් මෙහි ඇත්තේ ද නැත. ඉතින් කිසිවක් නොකියමි. කිසිවක් නොසිත මි. 
සියල්ල මැදිහත් සිතින් දරාගෙන හිම ගිරිඅරණ වෙත නෙත් යොම මි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...