Thursday, December 20, 2012

දෙසැම්බර් විසි එකට ලියමි



ආදරණිය දෙසැම්බර් විසි එක,

නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත. 

මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි.

අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි. ලියූ  විභාග සමත් මෙන්ම අසමත් වී ද ඇත්තෙමි.

 කථා කරන්නට, වදන් හසුරුවන්න ද, කියූ වදන් හඳුනා ගන්නද  උගත්තෙමි.   ඇසූ වදන් නිසා, හිත සතුටු මෙන්ම දුක්  වන්නටද, අන් අය මගේ වදන් තුලින් සතුටු කරන්නද ශෝක කරවන්නද උගත්තෙමි.  

හැඟුමන් වල දිග පළල හැඳින්නෙමි. සතුට, දුක, තරහාව, පාළුව හැදින්නෙමි. ආදරය ලබා දෙන්නත්, ලබා ගන්නත් උගත්තෙමි. ආදරය ලැබුනු විට සතුටු වන්නටද නොලැබුනු කළ ඉකි ගසා හඬන්නටද පුරුදු වුනෙමි. 

ලෝකයා තුල කරුණාව, දයාව, ආදරය, සමඟිය සේම වෛරය, ක්‍රෝධය, තරහාව, භේදය ද ඇති බවට අත්දැකීම් ලැබුවෙමි.

සරල චින්තනයෙන් යුතු ළදරුවෙකු ගේ සිට සංකීර්ණ සන්ජානනයක් ඇති වැඩිහිටියෙකු දක්වා මම ගතින් හා සිතින් වැඩී ඇත්තෙමි.

මා ලැබූ ගුරුහරුකම්, අත්දැකීම් බොහෝය. මම ජීවිතය විඳවා මෙන්ම විඳ ඇත්තෙමි. ඉඳින් නුඹ ආවා නැතා කියා මට ප්‍රශ්නයක් නොමැත. ජීවිතය පෙර සේම ගත වනවා/නොවනවා නිසැකය.


මීට 
ඔබ එන තුරු බලා (නො ) හිඳින 
මම

Related Posts Plugin for WordPress, Blogger...