Showing posts with label කටු සටහන්. Show all posts
Showing posts with label කටු සටහන්. Show all posts

Thursday, February 2, 2017

හිමගිරි අරණේ, මනමේ කුමරිය



හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි.... අසලක කිසිවෙකු හෝ නැත. දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය. 

ඔව්.... කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට, කටපුරා නුඹට කියන්න ට හැක, "අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව..."

නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ හැඩිදැඩි සිරුර ට ආලය කර, හිම ගිරි අරණක  රැජින ක වීමට සිහින දැකපු, එතෙක් කල් අසලින් වෙලුනු, ප්‍රේම ගී ගායනා කරපු මනමේ කුමරුන් මරන්නට, අසිපත වැද්දෙකු අතට දුන් මාගේ නොගැඹුරු ච්ත්තාකල්පනයන්ය, මාගේ ළඳ බොළඳ මානසිකත්වය ය. 

ඉතින් සරදමින් හැඩගැන්වූ ස්වරයෙන් නුඹට කිව හැක්කේ අන්න බලන් කුමරිය මනමේ, තනිවී ඇත හිම ගිරි අරණේ කියා ය. 

මම කිසිවක් නොකියමි කිමද වැදි රජුට පෙම් කල බව කීවේ ද නුඹම ය. කඩුව ඔහු අතට දුන් බව කීවේ ද නුඹම ය. මනමේ කුමරා මරණයට පත් වූයේ මා නිසා බව කීවේ ද නුඹම ය.

මෙහි මනමේ කුමරයා හෝ වැදි රජු නොවැදගත් චරිත වන්නේ මාගේ ඒ නොගැඹුරු චිත්තාකල්පන නිසාවෙන් කඩුව වැදි රජුට දුන්නා යැයි ඔබ කියනා කතාවට වැඩි වටිනාකමක් හිමි වන නිසාවෙන් බව ඔබ ත් හොදාකාරවම දන්නවා යැයි මම සිතමි. 

මනමේ කුමරු ට කඩුව දුන්නා යැයි  නුඹ කිවහොත්, බරණැස රජ සැප විඳිනට ඇති ආසාවෙන් නිර්නාමික, ගිරි අරණක වෙසෙන වැද්දෙකු ගේ පපුව කඩු තුඩකින් පසා කරන්නට හැකි වූ පවුකාරිය වන්නේ ද මම ම ය. මනමේ කුමරුන් මරන්න ට කඩු ව වැදි රජු ට දුන හෙයින්, එහි වැරදිකාරිය වී ඇත්තේ ද මම ම ය.

මෙම කතාවේ කුමන අවසානයක් ගැන සිතුව ද අවසන ඔවුන් දෙපලම , කතාවේ අවසානය ගැන ඇති වගකීමෙන් නිදහස් කොට මගේ සිතිවිලි හා තීරණ වල දිග පළල මැනීමට, සමාජයී ය ආකෘතිය නැමති කෝදුවත්  රැගෙන, නඩුව නුඹම අසා, ඇසින් දුටු සාක්ෂි නුඹ ම දිවුරා පවසා,තීන්දු ව ද නුඹ ම ගෙන වරදකරු මා කොට අවසානය. 

මනමේ කුමරිය අවසන නොදන්නා හිම ගිරි අරණක, ඇගේ වරදින් ම, තනිවී ඇති බව පමණක් නුඹ හට කීම ට ඇත. 

ඔව්, වැදි රජු ට පෙම් බැන්දේ ද මනමේ කුමරිය ම ය. මනමේ කුමරුන් මරා දැම්මේ ද මනමේ කුමරිය ම ය. වෙන කිසිවකු ගේ වැරද්දක් මෙහි ඇත්තේ ද නැත. ඉතින් කිසිවක් නොකියමි. කිසිවක් නොසිත මි. 
සියල්ල මැදිහත් සිතින් දරාගෙන හිම ගිරිඅරණ වෙත නෙත් යොම මි.

Sunday, April 24, 2016

ආත්මය සොයා යෑම

නිර්නාමික වූ හැන්දෑවක,
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව, 
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....

Saturday, December 6, 2014

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ




දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.

මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.

ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.

මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.

සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.

සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.


(උපුටා ගැනීමකි )

Wednesday, October 15, 2014

කටු බැල්ලිය






පින්කි!

ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින්  පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය. 

ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත.  ඈ හට ඕනෑම බල්ලෙකු හා හාද වීමට හැකියාව ඇත. නමුත් එකදු බල්ලෙකු ඈ හා හාද නොවන්නේ මන්දැයි ඇයට මහා කුහුලකි.

මේ බලු රැලේ එක් බල්ලෙකු දෙස බැලූ ඈ මූ සමඟ කෙසේ හෝ යාළු වෙමි ය කියා සිතා ඌ පසු පස නිති හඹා යමින් ඌ හට නිරන්තර සැලකුම් හා යටහත් පහත් බාවය ප්‍රදර්ශනය කරන්නට විය.

බල්ලා සිය උපරීම මහේශාක්‍ය ලීලාව මේ කටු බැල්ලිට පෙන්වමින් ඇගේ සැලකිලි තමන්ගේ මවිල් ගහකට පවා නොදැනෙන බව බැල්ලියට දන්වන්නට නොපසුබට විය.
නමුත් බැල්ලිය ඒයින් අධෛර්යයට පත් නොවූයේ තම හැකියාවන් ගැන ඇය මහත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසාවෙනි. 

කුලල් කා ගනිමින් සපා ගනිමින් ඒ බැල්ලියද ඒ බල්ලා යන එන සැම තැන දින ගත කරන්නට වූයේ දිනෙන් දින කෙසේ හෝ තමන්ගේ අභිලාශය මුදුන්පත් කර ගැනීමේ අරමුණෙනි.

අද ද මහ මග ඒ බැල්ලිය තම අරමුණ පසු පස හඹා යාවි.


Monday, August 11, 2014

Augustus හමුවීම




"ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය.

"මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ...."

"නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.
ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ."

"හ්ම්"

"ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක් දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්! එහෙම වෙලා මිනිස්සුන්  ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලා ඇති කියලා."

සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා.

"මම ඉතා සාමන්‍ය කෙනෙක්."

"මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද? හිතට එන පලවෙනි දේ කියන්න"

"හ්ම්. මම කියවන්න කැමතියි."

"හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ?"



"හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්..."

"ඔයා කවිත් ලියනවා ද?"

"නෑ නෑ... මම කවි ලියන්නේ නෑ."


"ඒකනේ, හේසල්  ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ..."

"හ්ම්, මම හිතනවා එහෙම"

"ඉතින් කැමතිම පොත මොකද්ද?"

ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා  අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.

ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත! හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.
අන්තිමේදී මම ඔගස්ටස් ට  මගේ ඒ පොත ගැන කිව්වා.

"මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි."

"ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද??"

"නෑ!"

"එහෙනන් storm troopers?

මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.

ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති  ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.

අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.

ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට  නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය.
 "මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.

පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය.

"සීතල යි."
මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය.

"ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම."

"මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.

(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්)






Saturday, April 12, 2014

අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්




අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...

අංක එක - අවුරුදු කුමරිය


  • මේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවා
  • කොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....
  • ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්
  • නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේ
  • පර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....


අංක දෙක - මිස් ශ්‍රී ලංකා


  • පිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩී 
  • පෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයි
  • කොන්ඩයේ දිග පළල වැඩක් නැත
  • පර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇත
  • ඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය


අංක තුන - සුපර් මොඩල්


  • කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුර
  • ඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාව
  • ලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේ
  • තවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය

අන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රම
මේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද? සමහර විට මට මඟ හැරුන දේවල් ඇති... 
;)

Sunday, January 5, 2014

ඔහු/ඇය



මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....

ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....

නුඹ, නුඹගෙ අනාගත අභිප්‍රායන්, සැබෑ  නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් හට කියාවි...

සතුටක මුල් සහකරුවා/සහකාරිය ද වන්නේ ඔවුන් ය, දුකකදී  නුඹ හා එක් ව හැඬීමට හා නුඹගේ සතුටේදි එක්ව සිනාසීමටත් ඔවුන් පසුබට නොවේ...

ඔවුන් නුඹව කෙදිනක වත්  නුඹව, නුඹ ගැන මදිකමක් පිළිබඳ සිතිවිලි වලින් වෙලන්නේ ද නැත... ඔවුන්ට  නුඹ ආතුල්‍යයි, විශේෂයි, සුන්දරයි...

ඔවුන් ඉදිරියේ නුඹට නිසල බව මිස පීඩනයක්, ඊර්ෂ්‍යාවක් හෝ තරගයක් නැත. නුඹට නුඹ විය හැක්කේ ඔවුන් නුඹේ තත්‍යතාවයට ඇළුම් කරන නිසාවෙනි...

නුඹ, එදිනෙදා හමුවන සැලකිය නොයුතු ගීතයක්, මතකයක්, සටහනක් සිතේ නිධන් කොට  රැක ගනීවී... 

ජීවිතයේ වර්ණ විචිත්‍රවත් වේවි... පෙර නොවිරු ලෙස සිනහව නුඹගේ ජීවිතයේ කොටසක් වේවි...

වෙහෙසකාරී දිගු දිනයක ලැබෙන දුරකතන ඇමතුම නුඹට සහනයක් ගෙන දේවී... ඔවුන් අසල සිටින විට නොකැඩී ඇදෙන කතාව නොව නිසල බව සහනයක් වේවි... ඔවුන් ආසා කරන දෑ නුඹටත් ප්‍රීතියක් ගෙනදේවි... 

ජීවිතයේ සෑම මොහොතකම  ඔවුන්ගේ  නුඹේ සිහියට එන්නේ නොදැනුවත්වම ය... 

නුඹ, නුඹේ හදවත ඔවුන් කෙරේ පිරිනමන්නේ යම් දිනක නුඹට හඬන්නට වන බව දැන දනත් ඒ සා ආදරයක් නැවත නොලැබෙන බව දන්නා නිසාවෙනි...

නුඹේ සහනය වන්නේ... නුඹට සාදා හිතැති මිතුරෙකු/ මිතුරියක, ආත්මීය සහකරුවෙකු/ සහකාරියක ලැබෙනවා යන සිතුවිල්ලකි...

ජීවිතය පෙර නොවිරූ ලෙස වෙනස් වී ඇති බවක්, උද්දීපනයක් හා සෑම දෙයකම පලක් ඇති බවක් නුඹට  වැටහේවී....

නුඹේ එකම ප්‍රාර්ථනය ද ස්ථිරත්වය ද ඔවුන් නුඹේ ජීවිතයේ කොටසක් වී සිටීමය...


Wednesday, April 24, 2013

රාත්‍රී ආහාරය....





"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."

හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි.

" ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ? "

ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ??

ඔහුට සිතේ.

ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න...  ඔහු ආයාචනා කරයි.

"ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ? ඇය ඔහුගේ ඇඟට කඩා පනි. "

"ඕනේ මඟුලක්, මට මහන්සි! මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."

ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.

උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.

ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.

මම කෑ ගහපු එක හරි නෑ, පව්! එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.

කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...

ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය.

"සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි.

"අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ...."

"නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ....  මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි..."

"ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද??"

" හ්ම්.... "

Friday, February 8, 2013

මිෂන් හොට්ටා



ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය. ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ  ඉඳන් මුකුළු කරනවා බටුවා දැක ඇත.

මගේ වයස තාම අවුරුදු වලින් 5යි මාස 2ක් උනාට මේ මොන්ටිසෝරියේ, "සුදු බබා" කිව්වාම නොදන්න කොනෙක් ඉන්නවා කියන්න බැරිය.

අපේ අම්මාගේ හුරතල් එකා වෙච්ච මට ගෙදර කවුරුත් කිව්වේ ඒ නමය. මොන්ටිසෝරියේ ලොකු ටීචර් අපේ අම්මාගේ හොඳ යාළුවෙක් වෙච්ච හින්දා මොන්ටිසෝරියේ දීත් මම සුදු බබා ම වුනේ හේෂාන් මලිත් පොත් වලට විතරක් ඉතුරු කරලාය. ලොකු ගැන්සිය මුල් කාලේදී සුදු හොට්ටා කියලා කචල් එක දැම්මත්, දෙන්නෙක් ලේ එන්න කොනිත්තලා එකෙක්ට තුවාල වෙන්න ගැහුවට පස්සේ මොන්ටිසෝරියේ චන්ඩියා පට්ටම මට ගන්නට පුළුවන් වුනා. කොච්චර දඟ කරත් ලොකු ටීචර් ගේ ශේප් කිරීමත් පොඩි ටීචර්ලා දෙන්න එක්ක හුරතල් වෙන්ඩ වග බලාගත්ත නිසා කණ්ඩායම් නායක පට්ටමත් දා ගන්ඩ මාසයක් වත් ගියේ නෑ.

අරයා මොන්ටිසෝරියට ආවේ මේ දවස් වලය. චූටි රෝස ගවුමක් ඇඳලා, පොල් ගහක් වගේ කොන්ඩේ බැඳලා.. රෝස ලේන්සුවක් ගහලා අම්මා අතේ එල්ලිලා අඬ අඬා පන්තියට ආවා මට මතකය. එයාගේ නම සෙනුරී ලූ. මට නන් පෙනුනේ මගේ පියරු බබී ව ය. කණ්ඩායම් නායකයා විදිහට මම පෙරට ගියේ මේ කෙල්ල කවුරුවත් දා ගන්න කලින් මම ලඟින් ඉන්දවා ගන්න ය. එන්න සෙනුරී... මම මගේ අයියාගේ බර කටහඬ දාලා ඒකී ට කතා කරා. මම සුදු බබා... ඈ හින් හිනාවක් දාලා මගේ දිහා බැලුවාම මට බෙන් 10 වීරයා වගේ හිතුනා...


ඉතින් මම මගේ පියරු බබී එක්ක සිංදු කිව්වා, පොඩි ටීචර් ගේ කතා අහුවා, චිත්‍ර ඇන්දා, අපි දෙන්නා ගැන මොන්ටිසෝරියම දැනගෙන හිටියා. ඒකි හැඩ උනත්, එකෙක්වත් ඒකිට ඔන්චිලි පදින්න තියා වැලි කෝම්පිට්ටු හදන්නවත් එන්න කිව්වේ නැත්තේ මම ගැන දන්න නිසාය. අපි දෙන්නා එකට සෙල්ලන් කරන වෙලාවට පොඩි ටීචර්ලා අනේ හරි කියුට්! කියන කොට මම මගේ ෆුල් හිනා පාර දාන්නේ, ලොකු ආඩම්බරයකින්..


මේ අස්සේ මගේ බර්ත්ඩේ එකත් ආවා. මොන්ටිසෝරියේ කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගේ හරි බර්ත්ඩේ එක දවසට මල් පොකුරක් උන්ගේ ෆිට් එක විසින් දෙන්න මොන්ට්සෝරි සිරිතක් තියෙනවා... ඉතින් මගේ ෆිට් එකෙන් මට මල් පොකුරකුයි තොත්තුවකු යි ලැබෙන දවසේ මම හැන්ඩියා වගේ අම්ම අළුතින් අරන් දුන්න සුපර්මෑන් ටී ෂර්ට් එක ගහලා ලයිට් පත්තුවෙන සපත්තු දාලා ගියා. 

අයියෝ! මගේ කරුමෙට ඒකි එදා උදේ සෙල්ලන් කරන්න ගිහින් මඩේ වැටිලා ඒකිගේ ලස්සන ගවුම ජරා කරගත්තා... පස්සේ අපේ අම්මා ෆොටෝ කැතවෙයි කියලා මගේ ෆුල් විරෝධය මැද්දේ කොන්ඩේ දිග හිරුනිට කිව්වා මල් ටික දෙන්න කියලා.. මම ඒකිට කැමතිත් නෑ, ඒකි හරි නපුරි, කොල්ලොන්ව කොනිත්තනවා, ඒ කරලා අපේ එකෙක් ගැහුවොත් හූ තියලා අඬනවා!! මෝඩි!!

මේක නිසා අරයා මගෙත් එක්ක තරහා වෙලා හිටියේ. මම අල්ලන් සෙල්ලම් කරන්න එන්න කිව්වම ආවෙත් නෑ. මගෙ අළුත් තුවක්කුව බැලුවෙත් නෑ, එක මට මාමා අරන් දුන්නේ, හෙන ලොකුයි. උස්සගන්නෙත් අමාරුවෙන්! මොන්ටිසෝරියේ එවුන් ඔක්කොම වට වෙලා බැලුවත් මේකි නෙවේ ආවේ..

මම ගනන් ගත්තෙත් නෑ. මම මොන්ටිසෝරිය රන් කරන්නේ කොහොමද, මෙයාගේ පස්සෙන් ගියොත්. ඔහොම ඉන්නකොට තමා බටුවා ඇවිත් කතාව කිව්වේ.

 ඌ අළුතෙන් ආපු එකෙක්, මෝඩ හරකා! මගෙ කෙල්ලට බැල්ම දාන්න.. මම මගේ ගැන්සිය  රැස් කරා... අර කොල්ලට වැඩක් දෙන්න ඕනේ. උබලා ඌව එක්කගෙන එනවා පොකුන ගාවට, මම දෙන්නම් වැඩක්!
උන් ටික හොට්ටාව එක්කගෙන ආවා... 

තමුන් දන්නවා ද සෙනුරී මගේ කෙල්ල.. උබට ඒකිත් එක්ක කතා නෑ... එහෙම කොහොමද එයා මගෙත් එක්ක යාළුයි! ඌ මට පාර්ට් එක දාගෙන ආවා... 

මගේ හිතේ ඉන්න බෙන්10 නලියන්න ගත්තා එකසිය ගානට.

 මම ගත්ත ගමන් ඌව පොකුනට තල්ලු කරා...

ටීචර් මෙන්න... අමල් මාළු අල්ලන්න ගිහින් පොකුණට වැටුනා කියලා මම කෑ ගැහුවේ වෙච්ච දේ ටීචර් ට කිව්වොත් බෑග් එකට පනුවෝ දානවා කියලා ඌව බය කරන ගමන්( ඌ පනුවන්ට බයයි )

වැඩේ ෆුල් ක්ලොස්! 

මම අරකිගේ ලොකු වෙච්ච ඇස්  දිහා බලාගෙන පන්තිය ඇතුලට ගියා. ඒකි හෙට මට කථා කරයි.

Thursday, December 20, 2012

දෙසැම්බර් විසි එකට ලියමි



ආදරණිය දෙසැම්බර් විසි එක,

නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත. 

මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි.

අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි. ලියූ  විභාග සමත් මෙන්ම අසමත් වී ද ඇත්තෙමි.

 කථා කරන්නට, වදන් හසුරුවන්න ද, කියූ වදන් හඳුනා ගන්නද  උගත්තෙමි.   ඇසූ වදන් නිසා, හිත සතුටු මෙන්ම දුක්  වන්නටද, අන් අය මගේ වදන් තුලින් සතුටු කරන්නද ශෝක කරවන්නද උගත්තෙමි.  

හැඟුමන් වල දිග පළල හැඳින්නෙමි. සතුට, දුක, තරහාව, පාළුව හැදින්නෙමි. ආදරය ලබා දෙන්නත්, ලබා ගන්නත් උගත්තෙමි. ආදරය ලැබුනු විට සතුටු වන්නටද නොලැබුනු කළ ඉකි ගසා හඬන්නටද පුරුදු වුනෙමි. 

ලෝකයා තුල කරුණාව, දයාව, ආදරය, සමඟිය සේම වෛරය, ක්‍රෝධය, තරහාව, භේදය ද ඇති බවට අත්දැකීම් ලැබුවෙමි.

සරල චින්තනයෙන් යුතු ළදරුවෙකු ගේ සිට සංකීර්ණ සන්ජානනයක් ඇති වැඩිහිටියෙකු දක්වා මම ගතින් හා සිතින් වැඩී ඇත්තෙමි.

මා ලැබූ ගුරුහරුකම්, අත්දැකීම් බොහෝය. මම ජීවිතය විඳවා මෙන්ම විඳ ඇත්තෙමි. ඉඳින් නුඹ ආවා නැතා කියා මට ප්‍රශ්නයක් නොමැත. ජීවිතය පෙර සේම ගත වනවා/නොවනවා නිසැකය.


මීට 
ඔබ එන තුරු බලා (නො ) හිඳින 
මම

Thursday, November 1, 2012

ඕවර් ටයිම් භාවනාව...




ටික්...ටික්...

ඔරලෝසුව සෙමින් සෙමින් තම ගමනේ යමින් මගේ ජීවිතයේ තත්පර,මිනිත්තු,හෝරාවන් ගණනය කරමින් සිටී. වේලාව දහවල දොලහේ කණිසම වැදී හෝරා හතක් පසුව ගොස් ඇත. නිවසට යාමට නියමිත ව තිබූ කාලය පසුවී ඒකේ කෑලිත් නැතිව ගොස් ඇත. වැඩ කන්දරාව ඔරලෝසුවත් එක්ක කිසිම ඇයි හොදයියක් නැති බව මට දැනී දැන් ගොඩක් කාලයක් ගතව ගොස් ඇත.

 ගෙදර ගෑනි මම එනකන් ඇහැරගෙන ඉන්නවා ඇති.

පව්!

ඒකී මට  ගොඩක් ආදරෙයි, කවදාවත් පරක්කු වීම ගැන වචනයක් වත් නොකියා," අද ගොඩක් වැඩ නේද? ඉන්න මම තුවාය අරන් එන්නම් ඔයා wash එකක් දාගෙන එන්න" කියමින් මට උපේක්ශා සහගත බැල්මක් දමයි.ඒ ඒකිගේ හෙටවත් කලින් එන්න කියන නිහඬ ආයචනය යි.

හ්ම්..

මම සුසුමක් හෙලුවෙමි. මේ ටික අද වෙනකොට ඉවර කරේ නැත්තම් හෙට ලොක්කා මට ** අරිනවා සිකුරුය. මගේ නේවසික cubicle හිමියාගේ සින්දුව මේ වෙලාවට හොඳටම ඔබිනේය.

ඔහු ලොක්කාගේ කාමරේ මීටිමකට ගොස් එලියට පැමිනි හැම දිනකම

 "ලොක්කාට පු* දීලා ඉවර නොමැත දෙවියනේ... කුමටද මම Assistant වී ඉපදුනේ" යැයි තාලයට ගායනා කරන්නේ අනිත් එවුන්ගේ මැඬ ගත් සිනා හඬ මැද්දේය.

අවුරුදු ගණන්  experience ගොනුවට එකතු කරමින් මේ කොම්පැනියට ආ දවසේ සිට interview එකේදී දුන්න කැරට් පොදියට අසුවී, ප්‍රමෝෂන් කට්ටක් අද ලැබෙයි හෙට ලැබෙයි  හිතාගෙන ලොක්කගේ අලි සීන් ඔක්කොම විඳ දරාගෙන ඉන්නේ මොන මගුලකට ද කියල මට වෙලාවකට හිතෙනවා.

 ඒ වුනත්... දැන් මම රවුම් ගහන, යාළුවෝ එක්ක හවසට සෙට් වෙන, කරටි කැඩෙන්න ගහන ඒ සරල ජීවිතයෙන් ගොඩක් ඈතයි. පඩිය අතට ගත්තාම අර බිල්, මේ බිල්, කෑම අරක මේක සියල්ල ඔළුවට එයි.  "මචං, උඹ අද සෙට් වෙන්න එනවාද?" යන පැනයට, "නෑ! බං අද බෑ!" කියලා මාරු වෙන්න මගේ සිස්ටම් එක සකස් වී ඇත.

අයියෝ සැලරි! තමා. ඉගෙනගෙන කට්ට කාලා, ජොබ් එකක් හොයාගෙන ෆුල් එකේ ඉන්න හීන දැකපු මම දැන් මේ මාසේ පඩිය කරගන්න දහ අතේ කල්පනා කරනවා.


කසාද බැන්දා වගේ නෙවෙයි, ගෑනීට කන්න දෙන්නත් එපැයි. මෙහෙම ගියොත් මම කොයි වෙලේවත් ගෙදර නෑ කියලා සමහර වෙලාවට ඒකිත් මාව දාලා යයි. මරු family life එක!!

හ්ම්..

මේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න ඕනේ ඉක්මනට. Weekend එකේ එයාව කොහේ හරි එකක් අරන් යන්න ඕනේ...

Sunday, September 2, 2012

(අ) සුන්දර අවසානය







චුරු චුරු වැස්ස...

උදේ ඉඳන්ම එකදිගට නොනවත්වා හඬා වැටෙන අහස, මේ වැහි අඳුර, මගේ හිතත් වෙලාගෙන...

"අදත් මගේ පොත ඉවර කරන්න වෙන එකක් නෑ" ඔහුට සිතින.

"පොත ඉවර කරලා, පෲෆ් රීඩින් යවන්න ඕනේ" , ඔහු තමාට කිහිප වතාවක් මේ සතිය තුරාවට මතක් කර දුන්නත්... වැහි කළුවරත් එක්ක එන මූසල සිතිවිලි රාශිය ඔහුගේ සිත වෙලාගෙන, ඔහුගේ ධ්‍යානයන් බිඳහරින විට, ඔහුගේ කෙටි සටහන් වල, මාස ගනනක් තිස්සේ සකස් කොට සෑදූ කතා සැකිල්ලේ අගට එන සොඳුරු අවසන වෙනුවට කඳුළින් සැරසූ සෝ සුසුම් මැසිවූ අසුන්දර වූ අවසානයක් කරා යාමට ඔහුට සිත් දේ.

"මේ කථාව අපි ටිකක් සරල සුන්දර එකක් කරමු නේද?"

 ඔහුගේ ප්‍රකාශකයා, මීටිම අවසානයේ ඔහු හට පැවසීය. 

"දැන් කට්ටිය කැමති තමන්ගේ යථාර්තයෙන් මිදිලා ටිකක් විතර සරල සුන්දර ෆැන්ටසියක ජීවත් වෙන්න, පොතකින් හොයන්නෙත් ඒකම තමා. මිනිස්සු තමන්ගේ ජීවිත වල හිරවෙලා හෙම්බත් වෙලා ඉන්නේ... ඔයාට 'බෙස්ට් සෙලර් ලිස්ට්' එකේ ඉන්න ඔනේ නන් දැන්මම හිතා ගන්න මිනිස්සු සොඳුරු අවසාන වලට කැමතියි."

"බොහොම ස්තූතියි! මිස්ටර්". ඔහු යන්තම් හිස සලා සිනාසුනේය. 

පොත ලිස්ට් එකට යනවා දකින්නට ඔහුගේ කිසිම අකමැත්තක් නැත. ගැහැනු ළමයාට මතක ඇති කාලයකදී වටිනා යමක් අරගෙන දීලා ද නැත. පාර්ට් ටයිම් ජොබ් එකද ජීවිතයේ පැවැත්මට මිසක සැමරීමක් කරන්නට තරම් අත මිට සරු කරන්නේ ද නැත.

පවත්වාගෙන ආ කලාකරුවා වේසය අතහැරිය නොහැක. කලාකරුවාගෙන් කන්තෝරු කරුවෙකු බිහිවන්නේද නැත.  ජීවිතය ද එක තැනම කැරකෙන ගානය. ඔහුට සිතේ.

ලැප්ටොප් තිරය සුදුවට දිලේ... අහස  තවමත් අඳුරුය.  

ඇගේ හා ඔහුගේ ආදර කතාව රචකයා ඉදිරියේ දිස්වේ...


හැල හැප්පීම් මැද, කටුක ගමනක් ඔවුන්ව  ඔහු මේ දක්වා දුර රැගෙන ආවේය. ඔවුන් ඔහු සමඟ දිවා රෑ නොතකා තමන්ගේ ජීවිත කතාව හැඩගස්වන්නට එක් විය.

 වැරදුන අවස්ථාවන්, ඔවුන්ගේ 'එඩිට්' වුන හමුවීමන්, මතකයන්, සංවාද බොහෝය. 

ඔහු නිගමනයකට එළැඹීය. අද මම මේ කතාව ඉවර කරනවා, අද මම නුඹලාගේ අවසානය නිමා කරනවා. නමුත් එය අවසානයක් නොව තවත් කථාවක ආරම්ඹයක් වේවි.

නුඹලාගේ කථාව 'ලිස්ට්' එකට ගියොත් මම නුඹලාගේ දෙවෙනි කොටස ලියනවා...
අපි බලමු..

ඔහු කටු සටහන් පොතෙන් අවසනට ලියූ පිටුව ඉරා අළුතින් අකුරු සිත්තම් කරන්නට ගනී.

Sunday, August 26, 2012

පිළිසිඳගැනීම






යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.

තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු සිනාවෙන් සිටි හැටි, ඇය මාල තොගයක බර දරාගෙන ඔහු හා ලැජ්ජාවෙන් සිනා වූ හැටි ඈට මතකය.

වෙහෙසකර වූ මංගල රාත්‍රිය, පසුදින තම නව ස්වාමියා/ආදරවන්තයාගේ සියුම් ආඩම්බරයක් මුසුවූ ආදරබර බැල්ම ඇයට මතකය. එදින සිට කෙතරම් දේවල් වෙනස් වූවාද කියා ඈට සිතා ගන්නට වත් නොහැකිය. 

ආදරවන්තයන් වූ කාලයේ වල් පල් කියවමින් දැවටි දැවටී සිටි ඔවුන් දැන් එදිනෙදා වැඩ වලින් හෙම්බත් වී ගෙදර පැමිණෙනුයේ මොකක් හෝ යමක් කා බී නිදාගන්නටය. 

එදා සිටි ආදරවන්තයා ඔහු කෙරෙන් පලා ගොස් ය. දැන් ඇය හා යහන් ගතවනූයේ නටබුන් වූ ආදරවන්තයෙකි, ඔහුට වෙහෙසය, ඉක්මනින් කිපෙන සුළුය, සෑම සියළු දෙයකටම උදාසීනය.

 පව්! 

ඈට සිතේ. ඔහු වෙහෙසෙන්නේ ඔහු සඳහාම පමණක් නොව 'අප' ගොඩ නැඟීමටය.

නමුත් 'අප' යන එකකය හට බාහිර පෙළඹවීම් වල නිමක් නැත. නැන්දම්මාට දරුවෙක් ඕනෑකර තිබේ. ඇගේ එකම අරමුණ ඔහුගේ මුහුණුවර ඇති දරුවකු සුරතල් කරන්නට ය. දුවෙක් නන් වඩා හොඳයි ලු. ඒ ඔහුගේ පවුලේ කොල්ලන් වැඩි නිසාලු. 

ඉල්ලුමට දරුවෙකු සපයනවා තියා ඔයාගේ පුතාට ගෙදර වැඩක් කරන්නවත් වෙලාවක් නෑ කියන්න ඈ හට කියන්න සිතුනත් තම ස්වාමියාගේ 'කාඩ්' කුඩු කරන්නට ඇයට නොසිතෙන්නේ ඔහුගෙන් ඈ හට කිසිදු වරදක් මේ වන තෙක් සිදු නොවී ඇති හෙයිනි.

ඔහු තාමත් නින්දේ ය...

ඔහුගේ අතරින් පතර මතුවී ඇති සුදු කෙස් එක දෙක, ඔවුන් තව දුරටත් විසි ගණන් වල පසුවන ජෝඩුවක් බව ඈට මතක් කර දෙන්නේ එක්තරා සුළු තිගැස්මක්ද සමඟිනි.

 නමුත් ඔවුන් මේ වනතුරු දින ගණන් කොට, වෙලාව බල, සියළු වෙද උපදෙස් අනුගමනය කර දරුවෙකු කුසට වඩම්මවා ගන්නට තැත් කරත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනිමේන් වූයේ ඇයි දැයි ඈ නොයෙක් වර පසු තැවුනාය.


ඒක ඕනෑ වෙලාවට වෙයි, ඔයා නිකන් කලබල වෙලා... හිතන්න එපා ඒ ගැන ඔහු මට පවසන්නේ මා සනසන අටියෙන්ද නැතහොත් තමාවම සනසා ගන්න අටියෙන් ද කියා ඈට සැකය. 

කාමරයේ එල්ලා ඇති දින කැපූ කැලැන්ඩරයේ රතු රවුමක් ඇඳපු දිනයට තව දවස් කිහිපයක් ඉතිරිව ඇති සෙයකි.

මේ.... පොඩ්ඩක් නැඟිටින්නකෝ... 

අද සෙනසුරාදා නේ... ඇයි මාව කලින් නැඟිට්ටවන්නේ? මහන්සියි අනේ පොඩ්ඩක් නිදා ගන්න දෙනවකෝ... ඔහු අඳෝනා නඟයි.

ඔහොම ගියොත් ළමයි හදයි! මේ අර දවසට තව දවස් ටිකක් තියෙනවා, ට්‍රයි කරමුද? 

හ්ම්... ඔහු තාම අඩ නින්දේය. 

"මෙහෙම ගියොත් අපිට අම්මාගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා... මට ඔෆිස් එකේ යාළුවෙක් කිව්වා ළමයි හම්බ වෙනනැති අයට හොඳ දේවාලයක් තියෙනවාලු. එකේ බාරයක් වුනාම හරි ලු."

"මොන දේවාලද අනේ මේ උදේ පාන්දර? ඊයේ හවස් වෙනකන් මීටින් තියල ලොක්කෝ මගෙ ඔළුව කන්වා, උදේට ඔයා මගේ ඔළුව කනවා... පොඩ්ඩක් එන්න අපි ටිකක් නිදා ගමුකෝ..."

ඈට ඔහුගේ උදාසීනත්වය ගැන සියුම් තරහාවක් ඇතිවනූයේ, කරදරය ඇත්තේ ඔහුගේ ම මවගෙන් නිසා ය. 

"ඔයා නන් මාර මිනිහෙක්... ඔයා ට බැරි නන් කියන්න මම ගිහින් අර දේවාලේ පූසාරිට කියලාවත් ළමයෙක් හදාගෙන ඔයාගේ අම්මාගේ ඔඩොක්කුවට ගෙනත් දාන්නන්. ඔයා ඔහොම ම නිදා ගෙන ඉන්න."

ඈ ඇඳෙන් නැඟිට ඉවත්ව ගියා ය.



Monday, July 2, 2012

කවුළුවෙහි රැඳි මල....


පෙම්වතුනි අමතක කර දමා ඔබේ ආලය
සවන්දෙන්න මේ ආදර කතාව ට,
ඈ කවුළුවෙහි රැඳි මලකි,
ඔහු වනා හි ශිශිරයේ සුළඟ...


කවුළුව සරසන තුහින වේලය
ඉරමුදුනත් කල විලීන වෙද්දී,
කූඩු වූ පඬු කුරුල්ලා
ඇයට ඉහලින් තාලය හසුරුවද්දී

ඔහු ඇයට සන් කොට
යාවි ඈ පසු කොට,
නැවත එන්නට ගොම්මන් අඳුරත්  රැගෙන...


ඔහු වූ කලි ශිශිරයේ සුළඟයි...
ආදරයක් නොදන්නා
හිම කැට, තුෂර
මියැදුන තුරු හා හුදෙකලා සියොතුන්
ඔහු හා සම්බන්ධයි



එනමුත් ඔහු සුසුම් හෙලයි.
එලිපත්ත මත හිඳ
ඇතුලත සිටියන් හට පවා
දැනෙන්නට 
තම සිත,
සොලවයි
ඔහු ඒ වීදුරු රාමුව,
අඩමානයේ රැඳි සිතින් 
ඔහු රැදේවී එක්ව පලා යන්නට
ගෙන ඇයව,
ඇගේ උණුසුම් වූත්, ප්‍රභාවත් වූත්
කවුලු රාමුවෙන් එපිටට...


පසුදින උදෑසන
ශිශිර සුළඟ ගොස් ඇත බොහෝ දුර,
නිමාව සනිටුහන් කොට ඇතියෙන්
කවුලුවේ රැඳි මල
හිස ගස්සා සන්  කොට

සිය අකමැත්ත...


Wind and the Window flower by Robert Frost 


Saturday, June 2, 2012

රතු වත ඇඳි ඈ ,වෘකයා හා දැව කපන්නා




දරුවා නුඹ ගමනක් යා යුතුයි...

තමාට ලැබුනු නව රක්ත වර්ණ පිළියෙන් සැරසුනු තුරුණු ගැහැනු ලමයා ඇමතූ මව පවසයි. නුඹ දැන් රතු වතක් හිමි දැරියක්, නුඹ ගමන් ගන්නා අඳුරු වන මාර්ගය ගැන සැලකිලිමත් වෙයන්... නුඹට මා කියා දුන් උපදෙස් අනුව  ක්‍රියා කරපන්... මා පෙන්වා දුන් මාර්ගයෙන් එපිට ට නොයා හොඳ ලමයෙකු ලෙස නුඹ නුඹව රැක ගන්න ක්‍රියා කරපන්...

ඒ වන මගේ බියකරු සතුන් බොහෝමයි... නුඹ උන් හට ඇඳුනුම් කම් පෑමට වත් කථාවට වත් යන්න එපා දරුවෝ! උන් නුඹ රවටා වි,උන් නුඹව ගොදුරු කර ගනීවී....

අම්මා, මම පරිස්සම් වෙන්නම්...

රතු වත ඇඳි දැරිය අඳුරු මහ වනය මැදින් දිවෙන ඒ පටු මගේ ගමන් කරන්නට ගත්තාය. අම්මා කියූ තරම් මේ මහ වනය රුදුරු පෙනුමක් නැතැයි ඈට  සිතේ. මග දෙපස වනතුරු වසා නෙක සුවදැති වනමල් ය. වනයේ ඇතුලාන්තයට වන්නට ඉතා රුවැති මල් පඳුරු දකින ඈ ඉන් වශී වන්නීය.

ඈගේ මනස ඒ මල් වල වර්ණයන්ගෙන්, සුවඳින් පිරී යාමත් සමඟ ඇගේ නව යොවුන් සිතේ මවගේ අවවාද හෙමින් වියැකී යන්නට විය.

ඈ තුටින් පිනා ගිය සිත් ඇතිව ඒ මල් නෙලා ගැනුම පිණිස වන වැදුනා ය. නෙක වර්ණවත් කුසුමන් අතර සතුටු වන්නට ගත්තාය.

කුසුම් නෙලමින් සිටි ඈ හට වෘකයා මුන ගැසුණි...

වෘකයාගේ හැඩි දැඩි යොවුන් සිරුර හමුවේ ඈ මුසපත් විණි.

ඈ ඔහු දෙස බලා සිටියා ය.

ඒ දිලිසෙන තියුණු ආගන්තුක ඇස් දෙස ඇය නෙතු නොසලා බලා සිටියා ය.

නවම් වූ රතු වතක් ඇඳි රුවැත්තිය, ඇයි මේ වන මැද තනියම? ඔහු ඇය අමතයි...
මවගේ අමතක වූ වදන් මතින් ඈ ඔහු හා සංවාදයකට මුල පුරන්නී, ගමනක් යන ගමන්...  මේ මල් වලින් සැකසුනු මල් පොකුරක් හදා ගන්න, මල් ටිකක් කඩා ගන්න නැවතුනා....

ඔබ මේ වනයට කෝඩු කාරියක් නේද? ඇයි ඔබ පුරුදු මඟින් වෙන් වූයේ? ආගන්තුකයා ඇයට ලෙන්ගතු වෙයි. මේ වනය ඔබ වැන්නෙකුට අනතුරු දායකයි....  එන්න මා සමඟින්, මා නුඹව ආරක්ෂා කරන්නම්... මා වැන්නෙකු සමඟ සිටින විට කිසිවෙකු නුඹට හානි කරන්න එඩිතර වන්නේ නෑ....

ඔහු ගේ වදන් වල ලෙන්ගතුකම හා අවංකත්වය දෝංකාර දෙයි.

ආගන්තුක වෘකයා, ඇගේ සිත ඔහු කෙරේ විශ්වාසයක් ගොඩ නඟන්නට ද වනයේ අනෙකුත් වාසීන් කෙරෙහි අනියත බියක් ඇති කරන්නට ද මුල පුරයි.


ස්තූතියි... මට නුඹව විශ්වාසයි. ඇය ඔහු හට තම ගමනාන්තය ගැන විස්තර පවසයි.

ඔහු හා ගමන් ගන්නට ගනී. ඔවුන් එකිනෙකා ගැන ආ ගිය විස්තර කථා කරයි. ඇය තමන්ගේ හැඟුමන්, සිහිනයන්, සිත් තැවුල් ඔහු හා බේදා ගනී.

ඔහු සන්සුන් ලීලාවෙන් ඇය සනසමින්, ඇගේ විශ්වාසී අසන්නා, සනසන්නා වෙමින් ඇගේ ලඟ රැදෙමින් ඈ හා ගමන්නාතය ආසන්නය වනතෙක් ආවේය. හරි මම යන්නම්... නැවත දවසක හමුවෙමු යැයි පවසා වෘකයා වෙන්ව ගියේය. ඇය නැවත නැවත ඔහු හමු වීමට වනයට පියමැන්නේ ඇගේ මවගේ අවවාද ද නොතකාය.

එක් දිනක් උදා විය.


ඔහු පෙනෙන්නට නැත.

ඇය ඔහු සොයමින් වනයේ ඇතුලට ගමන් කලාය. ආදරණීය වෘකය, නුඹ කොහිද? ඈ විමසුවා ය. ඈ වැළපුනාය. වෘකයා පැමිණියේය. ඔහු වෙනස් ය. ලෙන්ගතු බව පහවූ රකුසු ඇස් දෙකක් ඇය දෙස බලා උන්නේය.

කාලය නිසි පරිදි සකස් වී ඇත. ඈ ඔහුව සපුරා විශ්වාස කරන්නීය. මම නුඹව අද ගොදුරු කරගන්නවා! වෘකයා ඇය අමතයි....ඈ  සන්සුන් ව බලා සිටියා ය. වෘකය මම නුඹ ට ආදරය කරනවා... නුඹට රිසියක් කරගන්න... ඈ බිදුනු හදින් ඔහුව අමතන්නීය...

වෘකයාගේ ගොදුර වූ ඈ, වෘකයාගේ අඳුරු ඇතුලාන්තයට වී සිහින් හඩින් ඉකි බිඳින්නීය... ඇගේ දෛවය ගන සිතමින් හඬන්නීය...

වනයේ දැව කපන්නා හට මේ හඬ ඇසිණි. වෘකයාගේ ඇතුලාන්තයෙන් එන ගැහැණු හඬ දැව කපන්නා  කෝප කරවයි. ඔහු වෘකයා මරා දමා ඔහුගේ ඇතුලාන්තයෙන් ඇයව මුදා ගනී.


රුවැත්තිය... නුඹ දැන් නිදහස්. දැවකපන්නා ලෙන්ගතු කමින් පැවසීය.


නුඹට ස්තූතියි... මාව මුදා ගත්තාට ඇය පවසයි. ඈ වෙනස් ව ගොස් ඇති සෙයක් ය.. වන‍යට පිවිසි ගැහැනු ළමයා දැන් නැත.

ඇය ඔහු හා හාද වෙයි. ඔහු හා ගමන් ගනී.දැව කපන්නානෙනි... නුඹට මහන්සි ඇති ඈ පවසයි. දෙන්න නුඹේ පොරව මම ටික දුරක් ගෙනයන්නම්, මට උදව් කරන්න ඉඩ දෙන්න...

මදහසකින් වත සැහැල්ලු කරගත් ඔහු ඇයට තම පොරව බාර දෙයි.

ඇය සිනාසුනා ය.

ඇය ගත් සැනෙන් දැවකපන්නාගේ පොරවෙන් ඔහුගේ ගෙල කපා සිනා සලමින් තවත් වෘකයන් හා දැවකපන්නන් සොයා වනය තුලට දිව ගියා ය.



Tuesday, March 27, 2012

අවජාතකයා !









අරූ යන හැටි විතරක්...


 හෙනම ආඩම්බරෙන් යන හැටි....


ඕකා හිතාගෙන ඇති ඌ මහ රජාගේ පුතා කියල..


අවජාතකයා!


ඕකගේ තාත්තා ගෑනු කියක් එක්ක නන් නැටුවද?


අන්තිමට ඕකගේ අම්මත් එක්ක නටලා තමා ඒකිව බඩ දරු කරලා ගියේ.
මම හිතන්නේ ඕකගෙ අම්මා ඕකට ඔය වගක් කියලා නැතුව ඇති.


ඔව්!  මම ඒ ගෙදර කාලයක් වැඩට ගියා නේ. ඒ නෝනා දරුවට කියලා තියෙන්නේ තාත්තා ඇක්සිඩෙන්ට් එකකින් නැතිවෙලා කියලා.


 තාම පොඩි එකා නිසා වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. හිටපු ගමන් ඒකා අම්මේ දැන් තාත්තා කොහෙ ඇද්ද? කියලා අහනවා.


පව්! නෝනා ඔහේ බලාගෙන ඉන්නවා. 


හැබැයි. ඒ නෝනා මහත්තයා මත්තේ නන් අඬා වැළපිලා ජීවිතේ නැති කරන් නෑ ඕන්. ඒ නෝනා දැන් හොඳ තැනක ලොකු පඩියකටනේ වැඩ කරන්නේ.


මොන ලොකු කමක් ද බන්. මිනිහෙක් එක්ක නටලා ඒ මිනිහා තමන් ව බඩදරු කරලා යනකන් බලාගෙන ඉන්නේ. ඒ මිනිහා ගැන නොදැන හිටියා වෙන්න බෑනේ.


ඒ මදිවට අර අවජාතකයත් එල්ලන් හරි උජාරුවෙන් වාහනෙන් එහෙ මෙහෙ යන හැටි.
මම නන් ඕකව කාට හරි හදාගන්න වත් දෙනවා.


උඹට පිස්සූ!! ඒ නෝනා ඒ ළමයාට හරිම ආදරයක් තියෙන්නේ...


ඇස් දෙක වගේ බලාගන්නේ..


ඒත් වැඩක් නෑනේ

ඌ අවජාතකයෙක් !!


Monday, September 26, 2011

මගේ ජුලියට්.....





මා මරණයට පත් විය...

සඳහන් කළ හැකි, නොහැකි  ප්‍රධාන හේතුව නම් ඇය ය.

මම ඇයට ජූලියට් යැයි කීවෙමි.මගේ ආදර ජුලියට්... ආදරයක් නොවන අනාදරයක්ද නොවන මගේ ආදරයේ හිමිකාරිය ජුලියට්.මුදලේ වටිනාකමට ආදරයෙන් හිත පුරවන ජුලියට්... මා සිත වෙලාගත් රාග කුණාටුව පලවා හරින ජුලියට්...

Sunday, September 11, 2011

දේදුන්න







මම යන්නත් ඕනේ...

කිසි වෙනසක් මූනේ සටහන් වෙලා නෑ, හිත ඇතුලෙන් තත්පරයට හැඟුම් දාහක් පිට කලත්... මුහුනට ළඟා වෙන්න නොදී දෙදෙනාම වෙස්මූනක් දාගෙන... 


හරි! 

Related Posts Plugin for WordPress, Blogger...