Saturday, December 6, 2014

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ




දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.

ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.

මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.

ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.

මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.

සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.

සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.


(උපුටා ගැනීමකි )

Wednesday, October 15, 2014

කටු බැල්ලිය






පින්කි!

ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින්  පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය. 

ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත.  ඈ හට ඕනෑම බල්ලෙකු හා හාද වීමට හැකියාව ඇත. නමුත් එකදු බල්ලෙකු ඈ හා හාද නොවන්නේ මන්දැයි ඇයට මහා කුහුලකි.

මේ බලු රැලේ එක් බල්ලෙකු දෙස බැලූ ඈ මූ සමඟ කෙසේ හෝ යාළු වෙමි ය කියා සිතා ඌ පසු පස නිති හඹා යමින් ඌ හට නිරන්තර සැලකුම් හා යටහත් පහත් බාවය ප්‍රදර්ශනය කරන්නට විය.

බල්ලා සිය උපරීම මහේශාක්‍ය ලීලාව මේ කටු බැල්ලිට පෙන්වමින් ඇගේ සැලකිලි තමන්ගේ මවිල් ගහකට පවා නොදැනෙන බව බැල්ලියට දන්වන්නට නොපසුබට විය.
නමුත් බැල්ලිය ඒයින් අධෛර්යයට පත් නොවූයේ තම හැකියාවන් ගැන ඇය මහත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසාවෙනි. 

කුලල් කා ගනිමින් සපා ගනිමින් ඒ බැල්ලියද ඒ බල්ලා යන එන සැම තැන දින ගත කරන්නට වූයේ දිනෙන් දින කෙසේ හෝ තමන්ගේ අභිලාශය මුදුන්පත් කර ගැනීමේ අරමුණෙනි.

අද ද මහ මග ඒ බැල්ලිය තම අරමුණ පසු පස හඹා යාවි.


Monday, August 11, 2014

Augustus හමුවීම




"ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය.

"මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ...."

"නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.
ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ."

"හ්ම්"

"ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක් දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්! එහෙම වෙලා මිනිස්සුන්  ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලා ඇති කියලා."

සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා.

"මම ඉතා සාමන්‍ය කෙනෙක්."

"මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද? හිතට එන පලවෙනි දේ කියන්න"

"හ්ම්. මම කියවන්න කැමතියි."

"හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ?"



"හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්..."

"ඔයා කවිත් ලියනවා ද?"

"නෑ නෑ... මම කවි ලියන්නේ නෑ."


"ඒකනේ, හේසල්  ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ..."

"හ්ම්, මම හිතනවා එහෙම"

"ඉතින් කැමතිම පොත මොකද්ද?"

ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා  අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.

ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත! හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.
අන්තිමේදී මම ඔගස්ටස් ට  මගේ ඒ පොත ගැන කිව්වා.

"මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි."

"ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද??"

"නෑ!"

"එහෙනන් storm troopers?

මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.

ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති  ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.

අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.

ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට  නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය.
 "මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.

පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය.

"සීතල යි."
මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය.

"ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම."

"මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.

(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්)






Saturday, April 12, 2014

අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්




අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...

අංක එක - අවුරුදු කුමරිය


  • මේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවා
  • කොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....
  • ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්
  • නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේ
  • පර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....


අංක දෙක - මිස් ශ්‍රී ලංකා


  • පිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩී 
  • පෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයි
  • කොන්ඩයේ දිග පළල වැඩක් නැත
  • පර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇත
  • ඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය


අංක තුන - සුපර් මොඩල්


  • කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුර
  • ඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාව
  • ලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේ
  • තවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය

අන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රම
මේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද? සමහර විට මට මඟ හැරුන දේවල් ඇති... 
;)

Sunday, January 5, 2014

ඔහු/ඇය



මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....

ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....

නුඹ, නුඹගෙ අනාගත අභිප්‍රායන්, සැබෑ  නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් හට කියාවි...

සතුටක මුල් සහකරුවා/සහකාරිය ද වන්නේ ඔවුන් ය, දුකකදී  නුඹ හා එක් ව හැඬීමට හා නුඹගේ සතුටේදි එක්ව සිනාසීමටත් ඔවුන් පසුබට නොවේ...

ඔවුන් නුඹව කෙදිනක වත්  නුඹව, නුඹ ගැන මදිකමක් පිළිබඳ සිතිවිලි වලින් වෙලන්නේ ද නැත... ඔවුන්ට  නුඹ ආතුල්‍යයි, විශේෂයි, සුන්දරයි...

ඔවුන් ඉදිරියේ නුඹට නිසල බව මිස පීඩනයක්, ඊර්ෂ්‍යාවක් හෝ තරගයක් නැත. නුඹට නුඹ විය හැක්කේ ඔවුන් නුඹේ තත්‍යතාවයට ඇළුම් කරන නිසාවෙනි...

නුඹ, එදිනෙදා හමුවන සැලකිය නොයුතු ගීතයක්, මතකයක්, සටහනක් සිතේ නිධන් කොට  රැක ගනීවී... 

ජීවිතයේ වර්ණ විචිත්‍රවත් වේවි... පෙර නොවිරු ලෙස සිනහව නුඹගේ ජීවිතයේ කොටසක් වේවි...

වෙහෙසකාරී දිගු දිනයක ලැබෙන දුරකතන ඇමතුම නුඹට සහනයක් ගෙන දේවී... ඔවුන් අසල සිටින විට නොකැඩී ඇදෙන කතාව නොව නිසල බව සහනයක් වේවි... ඔවුන් ආසා කරන දෑ නුඹටත් ප්‍රීතියක් ගෙනදේවි... 

ජීවිතයේ සෑම මොහොතකම  ඔවුන්ගේ  නුඹේ සිහියට එන්නේ නොදැනුවත්වම ය... 

නුඹ, නුඹේ හදවත ඔවුන් කෙරේ පිරිනමන්නේ යම් දිනක නුඹට හඬන්නට වන බව දැන දනත් ඒ සා ආදරයක් නැවත නොලැබෙන බව දන්නා නිසාවෙනි...

නුඹේ සහනය වන්නේ... නුඹට සාදා හිතැති මිතුරෙකු/ මිතුරියක, ආත්මීය සහකරුවෙකු/ සහකාරියක ලැබෙනවා යන සිතුවිල්ලකි...

ජීවිතය පෙර නොවිරූ ලෙස වෙනස් වී ඇති බවක්, උද්දීපනයක් හා සෑම දෙයකම පලක් ඇති බවක් නුඹට  වැටහේවී....

නුඹේ එකම ප්‍රාර්ථනය ද ස්ථිරත්වය ද ඔවුන් නුඹේ ජීවිතයේ කොටසක් වී සිටීමය...


Related Posts Plugin for WordPress, Blogger...