Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Sunday, September 18, 2016

වියපත් කවිකම....




ඉස්පිලි, පාපිලි හැලී,
මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුන
කවියක පණ නල ගැහෙන, 
පොඩි වූ කරදහිය...
දූවිලි ගසා පිසදා,
රිද්මයක් නැති, නාඩි වැටෙන හඬට
සවන් දෙන,
වියපත් කවිකම....


Sunday, April 24, 2016

ආත්මය සොයා යෑම

නිර්නාමික වූ හැන්දෑවක,
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව, 
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....

Saturday, April 12, 2014

අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්




අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...

අංක එක - අවුරුදු කුමරිය


  • මේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවා
  • කොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....
  • ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්
  • නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේ
  • පර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....


අංක දෙක - මිස් ශ්‍රී ලංකා


  • පිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩී 
  • පෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයි
  • කොන්ඩයේ දිග පළල වැඩක් නැත
  • පර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇත
  • ඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය


අංක තුන - සුපර් මොඩල්


  • කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුර
  • ඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාව
  • ලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේ
  • තවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය

අන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රම
මේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද? සමහර විට මට මඟ හැරුන දේවල් ඇති... 
;)

Sunday, August 18, 2013

අර්ථය සෙවීම


ආදරය යනු,

අසම්පූර්ණ මිනිසෙකු 
සමඟ ඇතිවන
කොන්දේසි විරහිත බැඳීමකි...
ආදරය කිරීම යනු
යම් ප්‍රබල හැඟීමක් නොව
එක් අධිෂ්ඨානයකි...
තීරණයකි.
පොරොන්දුවකි...

Wednesday, June 12, 2013

වෙඩින් Talk...



ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..

කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි... 

සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...

සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ? 

මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...

හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ, මේකප් වැඩී නේද?

දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ! ෆොටෝස් ටික හරි නැති වෙයි...

අයියෝ! බෑන්ඩ් එක හරි සද්දයි! මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..

වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...

කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ. 

සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බා

කපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...

දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...

සවුත්තු වෙඩින් එකක්...

Tuesday, March 19, 2013

විසකුරු තුර ( A Poison Tree)




මා සබඳ හා මා උරණ වී
මගේ ද්වේශය උන් හට කීයෙන්
නිමා කලෙමි මම
මා උන් කෙරේ වූ ද්වේශය...

ඒ නමුදු...
මගේ රුපු කෙරේ 
ඇති ද්වේශය මා තුල
ගොඩ නැඟෙන්නට විය
නොපල හැඟුමක් ලෙසට...

රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට
අළුයම මගේ කඳුළු දිය කොට
වත් කෙරුයෙමි මාගේ ද්වේශයට
ප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්
සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ...

දිවා රෑ දළු ලියලා වැඩින 
මා ද්වේශය
ඵල දරා ලෝහිත වර්ණයෙන්
මා රුපු දකින ලද 
ඔහු එය මගේ බව හැඳින...

රහසේ පියමන් කොට 
උන්
අහස රාත්‍රී වේලයෙන් වැසී ගත් යම
අහෝ මා දුටිමි තුටින්
මගේ රුපු වැතිරී සිටි අන්දම
මාගේ තුර ‍යට...

A Poison Tree by William Blake

Wednesday, January 9, 2013

තාවකාලික හමුවීම



එන්න…
අපි හමුවෙමු
 යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ…
ලැගුම් ගමු 
අපි 
තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට..
ඉඩහසර ලබා ගමු 
අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට,
ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු.
උනුන් දෙස බලා සැනසෙමු 
හිනැහෙමු
ස්නේහයෙන්
 උදාවන එක් අලුත් අලුයමක
 වෙන්ව යමු 
අපි 
නැවත නොහදුනන්නන් ලෙස වෙස් ගෙන…
කිමද සෝ සුසුම්,
කුමටද විරහ වේදනාවන්…
නුඹ නොමැති මගේ ලොවට මම යන්නෙමි තුටින්..
 අපි අපේ කරගත් ඒ කාලයක සිහිවටන මම දමා යන්නෙමි මේ තාවකාලික නවාතැන තුලම…
ඉදින් එන්න 
රදවා සිනාවක් මුවග,
එන්න නොපැකිලව මේ සොදුරු නවාතැනට…
අපි තුටින් අරඹන අපේ තාවකාලික හමුවීමට…

Tuesday, October 2, 2012

ත්‍යාගයය




ප්‍රිය වල්ලභය, මේ බලන්න
මා නුඹට මාව ලබා දෙන්නෙමි.
මාගේ වදන් කුඩා බඳු වැනිය
නුඹට ගෙන රඳවා තැබීමට
රුවට රාක්කයක් මත
ඒවා හැඩැතිය, චමත්කාරජනකය
කාන්තිමත් වර්ණයන්ගෙන් අලංකාරය
ඔවුන්ගේ සුවඳින් නුඹ කුටිය පුරවාලනු ඇත.
කුසුම් හා තණ පත් වලවල මාධුර්ය 
මාගේ අවසාන වදනද නුඹට පුදන්නෙමි දිනෙක
නුඹ සතු වනු ඇත මා සම්පූර්ණව එදින
නමුත් ඒ මාගේ අවසාන හුස්මද වනු ඇත

A Gift by Amy Lowell

Saturday, August 11, 2012

නුඹ







සඳක් වෙන්න බැරි නම් නුඹ හට


ඉරක් වෙන්න හැකිදෝ මා හට


වෙහෙස දැනෙන මේ ජීවිතේ...



නුඹට කියන්න ට දෙයක් නැත.


Sunday, August 5, 2012

ගේෂාව නම් ගැහැනිය






ගේශාව... 


හැඟීම් තහනම් වූ ව්‍යාජ සිනහාවකින් සැරසී ගත් මුවින් යුතු කත, ඇයට කඳුළක් සලන්නට අවකාශයක්, අයිතියක් නැත. මිනිස් දුවක වන්නට අයිතියක් නැත. ඇය ස්වාමි දියණියක නොවේ, විලාසිනියක ද නොවේ... 


ඇය  කලාකාරියකි. .. ශ්වේත වර්ණ වෙස් මුහුණක් පසුපස සැඟවී ගත් ඈ, පිරිපුන් රතු තොල් සඟලින්, විභාවනයෙන් තොර මුහුණින්, පුරුෂ හදවත් තුල ඇගේ ගුප්ත භාවයන් කෙරෙහි කුතුහලයක්, කැමැත්ත ඇති කරවයි.


රඟන්නී ඈ, ඇගේ සේවාදායකයාගේ තෘප්තිය තකා.... ආලයෙන් වෙලෙන්නී ඈ නොයෙක් වර, ඈ හමුවට එන පුරුෂ රූප හමුවේ... නමුදු සේවාදායකයා තම ගේශාව තොරා ගන්නා ලෙස ඇයට තම සේවාදායකයා තෝරා ගත නොහැක කිසි දිනෙක.


කාලය ගත වී ඈ පැළඳි කිමෝනාවේ රතු කොලරය සුදු වන දින දක්වා රඟන්නී ඈ,  තැන්පත්ව, සිනානොමසෙන වත දක්වා... 


ඇගේ කථාව ඈ හට කියන්නට අවසර නැත. ඇගේ ජීවිතය ගුප්තය, නිහඬය... ඈ කලාකාරියකි. ඈ ගේශාවකි.

Tuesday, June 12, 2012

La Figlia Che Piange (The Weeping Girl)




පියපෙල හිනිමත්තේ සිට,
ගෙවත්තේ උස් වූ මල් පෝච්චියට හේත්තුවෙයන් නුඹ,
හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි,
වේදනාබර හදින් දෑතේ හිර කරගත් මල් පොකුර 
දමාගසමින් ,
ඉවතට හැරියන් ,
නුඹේ ක්ෂණික වූ කෝපාන්විත බැල්මකින් නෙත සරසා,
නමුත්, හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි..

Thursday, April 12, 2012

බලාපොරොත්තුවේ අවුරුද්ද





සැබෑ වෙන්න කියලා පතන, පොඩි හීනයක් හිත ඇති අවුරුද්දක්.  


අළුත් අවුරුද්ද එලඹෙන්නේ ජනවාරි ද අප්‍රේල් මාසයේද කියන එක හිතනවට වඩා කොයි මාසේ හෝ ලබන්නාවූ නව අවුරුද්දේ ඒ පුංචි පැතුම හැබෑ වෙනවා දකින්න ආසයි. යන්න තියෙන පාර රෝස මල් පෙති අතුරපු එකක් නොවුනත් දුක් විඳලා ලබාගන්නා දෙයක ඇති සතුටට මම කැමති. 


"විවර කර තබනු නුඹේ හදවත සිහිනයන් හට, සිහින බලාපොරොත්තු ජීවත් කරවයි. බලපොරොත්තු නුඹේ දිවිය සතුටින් පුරවාලයි"

මේ අවුරුද්දේ පොඩි පොඩි හීන සඵල කරගන්න වෙර දරන කාටවත් අභාග්‍යයේ සුනාමියක් නොම එවායි කියලා ප්‍රාර්ථනා කරනවා!!


 සෑම සියළු දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!



Tuesday, April 3, 2012

Paradise (ඇගේ පාරාදීසය)




ළමා කල ඈ සිහින මැවූ ලෝකය
ඇගෙන් ගිලිහී ගොස්
හොරෙන්ම....
ඉදින් සිහින දකින්නී 
ඈ,
පලාගොස් නිදි දෙව්දුව සමඟින්,
සිහින දකින්නී
ඈ,
ඇගේ පාරාදීසය...



ගෙවී යන ජීවිතයේ
දුෂ්කරත්වය,
සමනල තටු සිඳලයි...
දිවි චක්‍රය
සෑම කඳුලැල්ලක්ම
දියඇල්ලක් වූ කලෙක,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
දෑස වසාගන්නී ඈ,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
පියා සලන්නී ඈ,
පාරාදීසය සොයා


වැතිරී ඒ කුණාටු අහස යට
සැනසෙන්නී ඈ,
සූර්ය්‍යා පහන් වෙන්නේ යලි දිනෙක උදාවීමට
කියා

My Translation of the song Paradise by Coldplay





Tuesday, February 28, 2012

මතකය





පෝයත් ගෙවිලා ගියා. මිදුලට ඉහලින් කලුවර අහස මැද දිදුලන හඳ දිහාව මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ වෙලාවේ කිසිම අරමුණක සිත නොතිබුන නිසයි.

පුංචි තරු ගොන්නක් මැදි කරගෙන හරි ආඩම්බරයෙන් දිලිසෙන හඳහාමි,නුඹ ගැන ඇති මතකයට කාල දින වකවානු හදා ගන්නට නොහැකිව මා සිතින් දැවෙන විට නුඹ පෙර පරිදිම හිනා වෙන හැටි! 


එදා වගේම නුඹ අදත් හරි හැඩයි,නෙතට ප්‍රියයි. පොඩි කාලේ හඳ ඉල්ලා  හැඩුවා නේද කියලා මතක් වෙද්දී හිතට සියුම් ලැජ්ජාවක් ආවත් ඒ නොලැබුනු හඳ නිසා ජීවිතය ගැන ඉගෙන ගත්ත පාඩම ගැන මම හදට ස්තූතිවන්ත වෙන්න ඕනේ කියලා එක පාරටම මට හිතුනා.


 නුඹ මට කියා දුන්න ඒ පොඩි පාඩම මාව ජීවිතයේ ගොඩක් ඉස්සරහට ගෙන ගිය බව නුඹ හට නොකිව්වද, මට පමණක් ඇහෙන මේ සිතිවිලි කියනවා. හිනා වෙන්න, ඇති තරම් හිනා වෙන්න!


 මගේ කිසි තරහක් නෑ. නුඹට නොපෙනුනද නුඹ ගැන දුටු සිහින කන්දරාවේ නටඹුන් අදටත් මේ සිතේ අදුරු කොනක සැගවී තියෙන බව මම අකමැත්තෙන් උනත් පිලිගන්නවා.


 ඒත්! 


නුඹ එය දැන නොගන්නේ මා පළදාගෙන ඇති වෙස් මූණට පින් සිද්ද වෙන්න. මොන දේ උනත් කමක් නෑ කියලා හිතේ කහටක් නැතුව ස්තූතියි කියන්න හැදුවත් මම,මොනවා කරන්නද…. 


ඒදා වගේම තමයි අදටත් නුඹට මා නොපෙනෙන අපූරුව

Monday, February 6, 2012

...මට දැනෙනවා ආදරේ...







පුදුම නිදහසක්... 


මගේ සිත පියාසර කරනවා, කුරුලු පියාපතක රැදි සැහැල්ලුවෙන්....

හිත ඇතුලාන්තයේ තෙරපී තෙරපී පිට වෙන්නට පොර බදින සොදුරු සිතිවිලි රාශියක් පදවැල් වලට පෙරලී පොත් පිටු අතර සැගවිලා ඉදන්හොරැහින් ඉගි බිගි පානවා, හරි සතුටින්...


සිතිවිලි අහුරක් සිතත් එක්ක අපූරු සටනක... 


සිහිනයත් යතාර්ථයත් අතර අතරමං වුනු මම කිසි දෙයක් නොදැනෙන විදිහට බලාගෙන ඉන්න හිතුවත්... 


කෑ ගහලා කියන්න හිතෙනවා හිතේ ඇති හැම දෙයක්ම... 


නුඹ මට දැනෙන අපූරුව.... 


දැනෙනා හැටි නුඹට ඇති ආදරය... 


ඔව් සහතිකයි මට ආදරේ දැනෙනවා...


කියන්නද මම නුඹට කවුලුවෙන් එපිට ඇද හැලෙනා වස්සානයත් සමග පාවී එන මල් සුවද කැටිවූ සුළග, නුඹ ගැන ගීයක් මුමුණන වග...


නුඹ තේරුම් ගනීවිද...


හිතේ කොනක සියුම් ප්‍රශ්නාර්ථයක් එනමුදු මට දැනෙනවා... 


හැම දෙයකම ගැබ් වූ සුන්දරත්වයක්, ලස්සනක් වෙන කවරදාටවත් වඩා...


ඔව් මට හැගෙනවා....


 මට දැනෙනවා ආදරේ... 

Saturday, January 28, 2012

දයාබර ප්‍රශ්නවැල...





ප්‍රශ්න... ජීවිතය වෙලාගෙන හෙමිහිට ගෙල මිරිකා දමන්නට උත්සහා ගන්නා මහා එපා කරපු සතුරෙක්ගෙ වෙසක් අරගෙන ජීවිතයට ආයෙත් එබිකම් කරන්න අරන්. උඹට නොතේරුනාට, මම හුස්මක් අරන් ආයෙත් ජීවත් වෙන්න හැදුවා විතරයි... දයාබර ප්‍රශ්නවැල...උඹ කලුවර කොනකට වෙලා හැංගි හැංගි කල් මරලා ලක ලෑස්ති වෙනවා. මටත් නොදන්වා සිනාවක අග්ගිස්සක එල්ලිලා, මුලු ජීවිතේම අපායක් කරන්න කඩාපාත් වෙනවා. එක අතකට උඹේ ඇති වැරැද්දක් හොයා ගන්නත් බෑ... ඒ තරමටම උඹත් හරියට නැතුවත් බැරි ඇතුවත් බැරි කෙනෙක් වෙලා...


 දැන් නන් වැඩිපුර හිනා වෙන්නෙත් හරි සෝදිසියෙන්. හිනා වෙන තරමටම අඩන්න වෙනවා කියලා උගන්නන්න නුඹ ඒ දවස් වල හරි උජාරුවට වටිනා සලුපිලි දවටාගෙන ඇවිත්, මගේ වටේ කැරකි කැරකී ඔච්චම් කරපුවා දැන් නන් මතකත් නැතුව ඇති. 


ජීවිතය කියන්නේ පාවි පාවී ගෙවන්න පුලුවන් සුන්දර කාල පරිච්ඡේදයක් නෙවේ කියලා මට ඒත්තු ගන්වන්න උඹ වෙහෙස උන හැටි, මම ඒ පාඩම දුක් මහන්සියෙන් ඉගෙන ගන්න දිහාව උඹ උපෙක්ෂාවෙන් බලාගෙන හිටපු හැටි...


 නුඹේ එක් කඩඉම් විභාගයක් ජයගෙන උදම් වෙන මට,නැවත නැවත එක පිට එක පරික්ෂණ රැසක් පනවපු විදිහ මම කොහොම අමතක කරන්නද.... 


දැන් මට මහන්සියි, මට තෙහෙට්ටුයි... නුඹ සමග හැප්පෙන්න තරම් මට දැන් හයියක් නෑ... උඹ ආයෙම මගේ ජීවිතේට එන්න කලින් ටික කාලයක් මට ජීවත් වෙන්න අවසර දෙන්න.... මටත් ජීවිතයේ වින්දනීය පැත්ත ගවේශනය කරන්න දෙන්න... ඒදා වගෙමයි...උඹ අදත් කිසි පිලිතුරක් නොදී නිහැඩියාවෙන් මාව පෙලනවා... නමුත්


 මම උඹ එක්ක තරහා නෑ.

Wednesday, January 18, 2012

ආදරණීය වසන්තය





ආදරණීය වසන්තය හෙමින් හෙමින් ඇවිත්,දෙනෙත් අභියස ඉගි මරමින් ජීවිතය වින්දනය කරන්න එන්න කියලා ආරධනය කරන්න අරන් නැවතත්...ඇවිදින්,දැන් ඉතින් සතුටු වෙන්න, හිනා වෙන්න...දැන් අර වේදනාත්මක, කටුක සීත කාලේ හමාරයි කියලා සිත සනසවනවා. ලගින් ඉදන් හිස පිරිමදිමින් ආදරණිය උණුසුමකින් හිත පුරවනවා...එන්න...නින්දෙන් අවදි වී යන්තම් හිස ඔසවා හිනා වෙන මල් කැකුලු අතර ඇවිද යන්න,ගලා යන දොල පාරේ සංගීතයට කන් දෙන්න, කුරුල්ලන්ගේ කතා අහන් ඉන්න... එන්න කියලා කියනවා...අතීතය නුඹට දුන්න වේදනාවන් අමතක කරන්න,ඉඩදෙන්න මට...පුරවන්න ඔය හිත ආදරයෙන්,සරසන්න ඔය වත සොදුරු හසරැල්ලකින්...ඉඩදෙන්න මට...නුඹේ ජීවිතය සමග පෑහෙන්න...ඔව් මගේ හිතත් පොරබදිනවා...නුඹ හා එක්වන්න...කවුලුවෙන් පෙනෙන ඒ සුන්දරත්වය දිහාට නෙත ඇදෙන වාරයක් පාසා මේ කලුවර, දොම්නසින් පිරි කාමරයෙන් එලියට ගිහින්, මග බලාගෙන ඉන්න වසන්තයේ දෝතට දුවගෙන යන්න...ගිහින් ඒ උණුසුම හොද හැටි විදගන්න...ජීවත් වෙන්න...සතුටු වෙන්න...හිත ආසාවෙන් ඉපිලෙනවා...හිත සතුට දරාගෙන නුඹ හා එක්වන්න ඇවිදගෙන එන්නද මම? බලාපොරොත්තු පිරි හිතක් දෝත දරාගෙන

Saturday, January 7, 2012

Friday, January 6, 2012

මම සතුටින්







මම අද ගොඩක් සතුටින්... හරිම සාමකාමි ප්‍රසන්න හැඟීමක්!! කියලා තියෙනවානේ Happiness is Bliss කියලා... අද නම් ඒ වගේ තමා....

Saturday, December 31, 2011

දෙදහස් එකොලහේ පව් සමාකරගැනීම






2011 අවුරුද්ද ගෙවිලා 2012 ලබන්න තව ටික වෙලාවයි.අළුත් බ්ලොග් එක පටන් ගන්නකොටම හිතා ගත්තා පුද්ගලික දේවල් වලින් මේක පුරවන්නේ නෑ කියලා. නමුත් 2011හේ අන්තිම පැය කිහිපය ගතවෙන වෙලාවේ ඒකට පොඩි exception එකක් දෙන්න කියලා හිතුවා... 


Related Posts Plugin for WordPress, Blogger...