Thursday, December 20, 2012

දෙසැම්බර් විසි එකට ලියමි



ආදරණිය දෙසැම්බර් විසි එක,

නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත. 

මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි.

අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි. ලියූ  විභාග සමත් මෙන්ම අසමත් වී ද ඇත්තෙමි.

 කථා කරන්නට, වදන් හසුරුවන්න ද, කියූ වදන් හඳුනා ගන්නද  උගත්තෙමි.   ඇසූ වදන් නිසා, හිත සතුටු මෙන්ම දුක්  වන්නටද, අන් අය මගේ වදන් තුලින් සතුටු කරන්නද ශෝක කරවන්නද උගත්තෙමි.  

හැඟුමන් වල දිග පළල හැඳින්නෙමි. සතුට, දුක, තරහාව, පාළුව හැදින්නෙමි. ආදරය ලබා දෙන්නත්, ලබා ගන්නත් උගත්තෙමි. ආදරය ලැබුනු විට සතුටු වන්නටද නොලැබුනු කළ ඉකි ගසා හඬන්නටද පුරුදු වුනෙමි. 

ලෝකයා තුල කරුණාව, දයාව, ආදරය, සමඟිය සේම වෛරය, ක්‍රෝධය, තරහාව, භේදය ද ඇති බවට අත්දැකීම් ලැබුවෙමි.

සරල චින්තනයෙන් යුතු ළදරුවෙකු ගේ සිට සංකීර්ණ සන්ජානනයක් ඇති වැඩිහිටියෙකු දක්වා මම ගතින් හා සිතින් වැඩී ඇත්තෙමි.

මා ලැබූ ගුරුහරුකම්, අත්දැකීම් බොහෝය. මම ජීවිතය විඳවා මෙන්ම විඳ ඇත්තෙමි. ඉඳින් නුඹ ආවා නැතා කියා මට ප්‍රශ්නයක් නොමැත. ජීවිතය පෙර සේම ගත වනවා/නොවනවා නිසැකය.


මීට 
ඔබ එන තුරු බලා (නො ) හිඳින 
මම

Saturday, November 10, 2012

How Do I Love Thee





මා නුඹ හට කෙසේ ආලය කරන්නද?
මම නුඹ හට ආලය කරන්නේ කෙසේද...
මගේ ආත්මයට යා හැකි දුරක්, ගැඹුරක්, ආයාමයක් වෙත් නම්,
පැවැත්මේ අගක් වෙත් නම්, කරුණාවේ නිමක් වෙත් නම්,
මිනිසාගේ දිනයට හිරු ගේ එලියේ උවමනාවේ පමණට,
මම නුඹට නිදහසේ ආලය කරමි
 මිනිසා තම අයිතින් තකා වෙහෙසෙන පමණට,
පැසසුමේ පිවිතුරු බව ගැබ් වූ ලෙස,
සරාගීත්වයෙන් ඔප ගන්වා,
මගේ පැරණි කම්පාවන් හා කුඩා කළ භක්තියද,
මා දමා ගියා වූ ප්‍රේමයන් ගේ බලයද ද එක් කොට,
මාගේ හුස්ම පොද, සිනහාවද, කඳුළ ද, මාගේ මුළු දිවියමද එක් කොට
මාගේ දෙවියන් ඉඩ දුන හොත් මරණයෙන් මතුවද
මම නුඹට වඩාත් ආලය කරමි.

Translation of 'How Do I Love Thee’ by Elizabeth Barrett Browning  

Thursday, November 1, 2012

ඕවර් ටයිම් භාවනාව...




ටික්...ටික්...

ඔරලෝසුව සෙමින් සෙමින් තම ගමනේ යමින් මගේ ජීවිතයේ තත්පර,මිනිත්තු,හෝරාවන් ගණනය කරමින් සිටී. වේලාව දහවල දොලහේ කණිසම වැදී හෝරා හතක් පසුව ගොස් ඇත. නිවසට යාමට නියමිත ව තිබූ කාලය පසුවී ඒකේ කෑලිත් නැතිව ගොස් ඇත. වැඩ කන්දරාව ඔරලෝසුවත් එක්ක කිසිම ඇයි හොදයියක් නැති බව මට දැනී දැන් ගොඩක් කාලයක් ගතව ගොස් ඇත.

 ගෙදර ගෑනි මම එනකන් ඇහැරගෙන ඉන්නවා ඇති.

පව්!

ඒකී මට  ගොඩක් ආදරෙයි, කවදාවත් පරක්කු වීම ගැන වචනයක් වත් නොකියා," අද ගොඩක් වැඩ නේද? ඉන්න මම තුවාය අරන් එන්නම් ඔයා wash එකක් දාගෙන එන්න" කියමින් මට උපේක්ශා සහගත බැල්මක් දමයි.ඒ ඒකිගේ හෙටවත් කලින් එන්න කියන නිහඬ ආයචනය යි.

හ්ම්..

මම සුසුමක් හෙලුවෙමි. මේ ටික අද වෙනකොට ඉවර කරේ නැත්තම් හෙට ලොක්කා මට ** අරිනවා සිකුරුය. මගේ නේවසික cubicle හිමියාගේ සින්දුව මේ වෙලාවට හොඳටම ඔබිනේය.

ඔහු ලොක්කාගේ කාමරේ මීටිමකට ගොස් එලියට පැමිනි හැම දිනකම

 "ලොක්කාට පු* දීලා ඉවර නොමැත දෙවියනේ... කුමටද මම Assistant වී ඉපදුනේ" යැයි තාලයට ගායනා කරන්නේ අනිත් එවුන්ගේ මැඬ ගත් සිනා හඬ මැද්දේය.

අවුරුදු ගණන්  experience ගොනුවට එකතු කරමින් මේ කොම්පැනියට ආ දවසේ සිට interview එකේදී දුන්න කැරට් පොදියට අසුවී, ප්‍රමෝෂන් කට්ටක් අද ලැබෙයි හෙට ලැබෙයි  හිතාගෙන ලොක්කගේ අලි සීන් ඔක්කොම විඳ දරාගෙන ඉන්නේ මොන මගුලකට ද කියල මට වෙලාවකට හිතෙනවා.

 ඒ වුනත්... දැන් මම රවුම් ගහන, යාළුවෝ එක්ක හවසට සෙට් වෙන, කරටි කැඩෙන්න ගහන ඒ සරල ජීවිතයෙන් ගොඩක් ඈතයි. පඩිය අතට ගත්තාම අර බිල්, මේ බිල්, කෑම අරක මේක සියල්ල ඔළුවට එයි.  "මචං, උඹ අද සෙට් වෙන්න එනවාද?" යන පැනයට, "නෑ! බං අද බෑ!" කියලා මාරු වෙන්න මගේ සිස්ටම් එක සකස් වී ඇත.

අයියෝ සැලරි! තමා. ඉගෙනගෙන කට්ට කාලා, ජොබ් එකක් හොයාගෙන ෆුල් එකේ ඉන්න හීන දැකපු මම දැන් මේ මාසේ පඩිය කරගන්න දහ අතේ කල්පනා කරනවා.


කසාද බැන්දා වගේ නෙවෙයි, ගෑනීට කන්න දෙන්නත් එපැයි. මෙහෙම ගියොත් මම කොයි වෙලේවත් ගෙදර නෑ කියලා සමහර වෙලාවට ඒකිත් මාව දාලා යයි. මරු family life එක!!

හ්ම්..

මේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න ඕනේ ඉක්මනට. Weekend එකේ එයාව කොහේ හරි එකක් අරන් යන්න ඕනේ...

Tuesday, October 2, 2012

ත්‍යාගයය




ප්‍රිය වල්ලභය, මේ බලන්න
මා නුඹට මාව ලබා දෙන්නෙමි.
මාගේ වදන් කුඩා බඳු වැනිය
නුඹට ගෙන රඳවා තැබීමට
රුවට රාක්කයක් මත
ඒවා හැඩැතිය, චමත්කාරජනකය
කාන්තිමත් වර්ණයන්ගෙන් අලංකාරය
ඔවුන්ගේ සුවඳින් නුඹ කුටිය පුරවාලනු ඇත.
කුසුම් හා තණ පත් වලවල මාධුර්ය 
මාගේ අවසාන වදනද නුඹට පුදන්නෙමි දිනෙක
නුඹ සතු වනු ඇත මා සම්පූර්ණව එදින
නමුත් ඒ මාගේ අවසාන හුස්මද වනු ඇත

A Gift by Amy Lowell

Wednesday, September 26, 2012

තුන්වැන්නිය




"ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවා එහෙම නේද? "

මා දෙස කොලින් බලමින් යුකිකෝ ඇසුවා.

මම හිස වැනුවා.

ඇගේ වචන වල ස්ථිර හැඩයක් සහ බැරෑරුම් බවක් තිබුනා. මේ මොහොතට සූදානම් වෙන්න කොපමණ වරක් මේ වචන ටික ඇගේ මනස තුළ ගමන් කරන්නට ඇතිද?
"ඔයා එයාට ඇත්තටම කැමතියි. ඔයා නිකන් සෙල්ලමට කරන එකක් එහෙම නෙමෙයි"
ඔයා හරි මම කිව්වා. "ඒක නිකන් කොටු පැනිල්ලක් නෙමෙයි. ඒත් ඒක හරියටම ඔයා හිතාගෙන ඉන්න දේත් නෙමෙයි"

"මම මොනවද හිතන්නේ කියලා ඔයා කොහොමද දන්නේ ?" ඈ ඇසුවාය. " ඔයා ඇත්තටම විශ්වාස කරනවාද, මම හිතන දේ ඔයා දන්නවයි කියලා?"

මට කිසිදෙයක් කියාගන්න බැරි උනා. යුකිකෝ පවා නිහඬයි. සංගීතය සෙමින් වාදනය උනා. විවල්ඩි හෝ ටෙලිමාන්. ඒ දෙකෙන් එකක්. මට එහි තාලය මතක නැහැ.

"මම හිතන්නේ මොනවද කියන එක ගැන ඔයාට මෙලෝ අදහසක් නෑ මම හිතන්නේ," ඈ කිව්වා. ඈ කථා කලේ සෙමින්, හැම වචනයක් ම පැහැදිලිව උච්චාරණය කරමින්, හරියට ළමයෙකුට යමක් පහදා දෙන ආකාරයෙන්.

"මම හිතන්නේ නෑ ඔයාට ඒ ගැන කිසිම අදහසක් තියනවයි කියලා"

මම පිළිතුරු නොදෙන බව දැකීමෙන්, ඈ ඇගේ වීදුරුව ගෙන බිව්වා. ඉතාම හෙමින් ඈ ඇගේ හිස වැනුවා.

"මම එච්චරම මෝඩ නෑ, ඒක ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා. මම ජීවත් වෙන්නේ, නිදිය ගන්නේ ඔයත් එක්ක. ඔයා වෙන කෙනෙකුට කැමති බව ටික කාලෙක ඉඳන් මම දැනගෙන හිටියා."

මම නිහඬවම ඈ දෙස බැලුවා.

"මම ඔයාට වැරැද්දක් කියන්නේ නෑ". ඈ කියාගෙන ගියා. "ඔයා වෙන කෙනෙකුට ආදරේ නම්, කාටවත් කරන්න පුළුවන් මහ දෙයක් නෑ. ඔයා ආදරේ කරන්නේ ඔයා ආදරේ කෙනාට. මම ඔයාට මදි. මම ඒක දන්නවා. අපි දෙන්නා හොඳින් ජීවත් උනා, ඔයා මාව හොඳට බලා කියා ගත්තා. ඔයා එක්ක ජීවත් වෙන එක ගැන මම හිටියේ හරි සතුටින්. මම හිතනවා ඔයා මට තාමත් ආදරෙයි කියලා, ඒත් මම දැන් ඔයාට මදි කියන සත්‍යයෙන් අපිට ගැලවෙන්න බෑ. මම දැනගෙන හිටියා මේ ටික සිද්ධවෙයි කියාලා. ඒ හින්දා මම ඔයාට දොස් කියන්නේ නෑ. වෙන ගෑනියෙක් එක්ක ආදරෙන් බැදිච්ච එක ගැන, මම තරහත් නෑ. හරිනම් එහෙම වෙන්න ඕනේ. ඒත් මම තරහ නෑ. මට දැනෙන්නේ වේදනාවක්, ලොකු වේදනාවක්. මේකෙන් මට කොයිරතම් රිදෙයිද කියලා හිතාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ, ඒත් මම වැරදියි."

"මට සමාවෙන්න" මම කිව්ව.

"සමාවගන්න අවශ්‍යතාවක් මෙතන නෑ! ඈ කිව්වා. "ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒකට කාරි නෑ. මම මුකුත්ම කියන්නේ නෑ. ඔයාට මාව දාල යන්න ඕනද?"

"මම දන්නේ නෑ" මම පිලිතුරු දුන්නා. "මම ඔයාට පැහැදිලි කරලා දෙන්නද මොකක්ද උනේ කියලා"

"ඔයා කියන්නේ ඔයයි අර ගෑනියි ගැනද?"

"ඔව්" මම කිව්වා

ඈ දැඩි ලෙස හිස වැනුවා. " මට ඒකි ගැන කිසි දෙයක් අහන්න උවමනාවක් නෑ. මම මේ දැනටමත් විඳවන හරිය හොඳටම ඇති. මීටත් වඩා මට තවත් විඳවන්න තියන්න එපා.ඔය දෙන්නා අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියන එකවත්. ඔයාලා මොන සැලැස්මක් ගැහුවද කියන එකවත් මට වැඩක් නෑ, මට ඒ ගැන අහන්න ඕනෙත් නෑ. මට දැනගන්න ඕන දේ මෙච්චරයි. ඔයාට මාව දාලා යන්න ඕනද නැද්ද? මට මේ ගේත් එපා, සල්ලිවත් කිසිදෙයක් එපා. ඔයාට ළමයි දෙන්නා ඕන නම් ඒ දෙන්නාවත් ගන්න, මම මේ ඇත්තටමයි කියන්නේ ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒක කියන්න. මට දැනගන්න ඕනේ එච්චරයි. මට වෙන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ. ඔව් ද නැද් ද? එච්චරයි."

"මම දන්නෑ" මම කිව්වා.

"ඔයා කියන්නේ ඔයාට මාව දාල යන්න ඕනද නැද්ද කියන එක ගැන ඔය දන්නේ නෑ?"

"නෑ. ඔයාට උත්තරයක් දෙන්න තරම් මම සුදුස්සෙක්ද කියලාවත් මම දන්නෑ නෑ"

"කවද්ද ඔයා ඒක දැනගන්නේ?"
මමහිස වැනුවා

"හොඳයි එහෙනම් , කාලේ අරගෙන ඒ ගැන හිතලා බලන්න. ඈ සුසුම් හෙලුවාය. මට බලාගෙන ඉන්න පිළුවන් ඔයාට කැමති තරම් කාලයක් ඔයා අරගන්න. "


දකුණු මායිම- ඉන්දික ගුණවර්ධන
South of the border, west of the Sun  by Haruki Murakami

Saturday, September 15, 2012

අවසන් මං නැවතුමට එපිටින්..




ඔවුහූ ඔහුගේ බිත්ති හුණු පිරියම් කරමින් සිටිති;
 ඔහුගේ බඩු බාහිරාදිය එළියට ඇද දමමින් සිටිති.
 අතීතයේ වූ සුපුරුදු කිසිවක් දැන් ඉතිරි වී නැත.

සදාකාලික කාලය විසින් ලුහු බැදිනු ලැබ නිවසෙන් පලා යන ඔහු තම ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය ගත කළ තැනට කඩා වදී.

පසුපස පියගැට, තුන්වෙනි මහල,
දෙවැනි දොරකියවා ගැනීමට තරම් පැහැදිලි නැති නාම පුවරුව මත
 වියැකුනු නම,
 " විසි අවුරුද්දක් ගෙවිල ගිහින්- අනේ මාව ඇතුළට ගනනවාද! "

මහලු ගැහැනියක් දොර විවර කරයි. වසර ගණනාවක හුදෙකලාවකින් අනතුරුව වුවත් තමා මන්දෝත්සාහීව සිටීම ගැන ඈ විස්මයට පත්ව සිටී,දිගු කාලයක් තිස්සේ වර්ණයක් ගැන නොදන්නා තම දෙතොල් ඈ සපා ගනී. දිගු කාලයක් තිස්සේ අමතක කර දමා තිබුණු ඉරියව්වකින් ඈ සිය අපිරිසිදු කෙස් රෑන සකසා ගනී. බිත්තියේ එල්ලා ඇති පැරණි පෙම්වතුන්ගේ ඡායාරූප ඔහුගෙන් වසන් කිරීමට ඈ අශෝබන ලෙස අත් දිගු කරයි. මේ හෙලිදරව් වීම් තවදුරටත් ගැටලුවක් නොවන අතර සියල්ල යහපත් බව අනතුරුව ඇය තේරුම් ගනී.

විසි වසරකට පසු ඔබ යලිත් පැමිණ සිටී.
අවසාන වැදගත් හමුවීමමගේ ජීවිතයේ...........

ඔව්, සියල්ල යහපත් ය. මුහුණ මත ඇති  රැලි හෝ වැරහැලි වූ ඇදුම් හෝ කහ ගැසුණු දත් හෝ එල්ලා වැටෙන සම හෝ ලේ සිදුණු දෙතොල් හෝ තව දුරටත් ගැටලුවක් උද්ගත නොකරයි.

තිර බව
 ජීවිතයේ අවසන් සේම
 වඩාත් කාරුණික වූ තිළිණය.

ඉතින් ඔහු තම අත මේස දිගේ විඩාබර ලෙස අද්දමින් කාමරය හරහා යන අතර

ඔහුගේ දුබල වූ අත් වැස්
 පැරණි පෙම්වතුන්ගේ ඇගිලි සලකුණු
 මකා දමමින් තිබේ.

ඇයට බොහෝ මිනිසුන් හමුවි ඇති බව ඔහු වටහා ගනී.මේ පෙම්වතුන්  රැළ

ඇගේ සමේ වූ මාහැගි අලංකාරය මුලුමුනින්ම නාස්ති කර දැමූහ.

දීර්ඝ කාලයක් තිස්සේ අමතකව තිබුණ ගීයක් ඔහුගේ ආත්මය තුළ කැලතෙයි.දෙවියනි කුමක්ද ඒ ගීතය?

වැල්ලෙන් නිමවූ සයනය මත පාවී පාවී.......

ඔබ දිගින් දිගටම ඉබාගාතේ පාවි යමින් සිටී.අන්තිමේදී ඔබේ අරටුව, ඔබේම හදවතේ අරටුව හැරෙන්නට කිසිවක් ඉතිරි නොවේ.

තමාට පිරිනැමීම සදහා දැඩි වූත්,තුරුණු වූත් කිසිවක් ඔහු සන්තකයෙහි ද නොමැති බව ඇය වටහා ගනී. නමුත්

 දැන් මා වෙත පැමිණෙන
 මේ වෙහෙසකර අවස්තා,
සොබා දහමේ බිදින්නට නොහැකි සන්සුන්,පිරිසිදු ක්‍රියාදාමය උදෙසා වූ
 මේ ගිවිසුමේ,
මා ඔබට උරුම කරන මේ...... 

ශෝකයෙන් තැවෙන ඔවුන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු ස්පර්ශ කර ගනිති. ඔහු ඇයට "මගේ කෙල්ල" යනුවෙන් අමතයි. ඇය ඔහුට "මගේ කොල්ලා" යනුවෙන් අමතයි.ඉනික්බිති ඔවුහූ වැළපෙන්නට පටන් ගනිති.

අතරමැද කිසිවක් නොමැත.
හුවමාරු වන වදනක් හෝ බැල්මක් ද නොමැත.
 සගවන්නට කාලකණ්ණිකම- ඔහුගේ හෝ ඇයගේ.

ඔවුහූ දෙදෙනාගේ සමට යටින් නිසංසලේ ගුම් දෙන මරණයේ යන්ත්‍ර වලට සවන් දෙති. ඔවුන් සදාකාලිකව එකිනෙකා හට හිමි වී සිටින බව ඔවුනට වැටහෙයි. මේ ඔවුන්ගේ අවසාන වූත් මාහැගිම වූත් ආදරයි.

Life Is Elsewhere- by Milan Kundera 

Sunday, September 2, 2012

(අ) සුන්දර අවසානය







චුරු චුරු වැස්ස...

උදේ ඉඳන්ම එකදිගට නොනවත්වා හඬා වැටෙන අහස, මේ වැහි අඳුර, මගේ හිතත් වෙලාගෙන...

"අදත් මගේ පොත ඉවර කරන්න වෙන එකක් නෑ" ඔහුට සිතින.

"පොත ඉවර කරලා, පෲෆ් රීඩින් යවන්න ඕනේ" , ඔහු තමාට කිහිප වතාවක් මේ සතිය තුරාවට මතක් කර දුන්නත්... වැහි කළුවරත් එක්ක එන මූසල සිතිවිලි රාශිය ඔහුගේ සිත වෙලාගෙන, ඔහුගේ ධ්‍යානයන් බිඳහරින විට, ඔහුගේ කෙටි සටහන් වල, මාස ගනනක් තිස්සේ සකස් කොට සෑදූ කතා සැකිල්ලේ අගට එන සොඳුරු අවසන වෙනුවට කඳුළින් සැරසූ සෝ සුසුම් මැසිවූ අසුන්දර වූ අවසානයක් කරා යාමට ඔහුට සිත් දේ.

"මේ කථාව අපි ටිකක් සරල සුන්දර එකක් කරමු නේද?"

 ඔහුගේ ප්‍රකාශකයා, මීටිම අවසානයේ ඔහු හට පැවසීය. 

"දැන් කට්ටිය කැමති තමන්ගේ යථාර්තයෙන් මිදිලා ටිකක් විතර සරල සුන්දර ෆැන්ටසියක ජීවත් වෙන්න, පොතකින් හොයන්නෙත් ඒකම තමා. මිනිස්සු තමන්ගේ ජීවිත වල හිරවෙලා හෙම්බත් වෙලා ඉන්නේ... ඔයාට 'බෙස්ට් සෙලර් ලිස්ට්' එකේ ඉන්න ඔනේ නන් දැන්මම හිතා ගන්න මිනිස්සු සොඳුරු අවසාන වලට කැමතියි."

"බොහොම ස්තූතියි! මිස්ටර්". ඔහු යන්තම් හිස සලා සිනාසුනේය. 

පොත ලිස්ට් එකට යනවා දකින්නට ඔහුගේ කිසිම අකමැත්තක් නැත. ගැහැනු ළමයාට මතක ඇති කාලයකදී වටිනා යමක් අරගෙන දීලා ද නැත. පාර්ට් ටයිම් ජොබ් එකද ජීවිතයේ පැවැත්මට මිසක සැමරීමක් කරන්නට තරම් අත මිට සරු කරන්නේ ද නැත.

පවත්වාගෙන ආ කලාකරුවා වේසය අතහැරිය නොහැක. කලාකරුවාගෙන් කන්තෝරු කරුවෙකු බිහිවන්නේද නැත.  ජීවිතය ද එක තැනම කැරකෙන ගානය. ඔහුට සිතේ.

ලැප්ටොප් තිරය සුදුවට දිලේ... අහස  තවමත් අඳුරුය.  

ඇගේ හා ඔහුගේ ආදර කතාව රචකයා ඉදිරියේ දිස්වේ...


හැල හැප්පීම් මැද, කටුක ගමනක් ඔවුන්ව  ඔහු මේ දක්වා දුර රැගෙන ආවේය. ඔවුන් ඔහු සමඟ දිවා රෑ නොතකා තමන්ගේ ජීවිත කතාව හැඩගස්වන්නට එක් විය.

 වැරදුන අවස්ථාවන්, ඔවුන්ගේ 'එඩිට්' වුන හමුවීමන්, මතකයන්, සංවාද බොහෝය. 

ඔහු නිගමනයකට එළැඹීය. අද මම මේ කතාව ඉවර කරනවා, අද මම නුඹලාගේ අවසානය නිමා කරනවා. නමුත් එය අවසානයක් නොව තවත් කථාවක ආරම්ඹයක් වේවි.

නුඹලාගේ කථාව 'ලිස්ට්' එකට ගියොත් මම නුඹලාගේ දෙවෙනි කොටස ලියනවා...
අපි බලමු..

ඔහු කටු සටහන් පොතෙන් අවසනට ලියූ පිටුව ඉරා අළුතින් අකුරු සිත්තම් කරන්නට ගනී.

Sunday, August 26, 2012

පිළිසිඳගැනීම






යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.

තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු සිනාවෙන් සිටි හැටි, ඇය මාල තොගයක බර දරාගෙන ඔහු හා ලැජ්ජාවෙන් සිනා වූ හැටි ඈට මතකය.

වෙහෙසකර වූ මංගල රාත්‍රිය, පසුදින තම නව ස්වාමියා/ආදරවන්තයාගේ සියුම් ආඩම්බරයක් මුසුවූ ආදරබර බැල්ම ඇයට මතකය. එදින සිට කෙතරම් දේවල් වෙනස් වූවාද කියා ඈට සිතා ගන්නට වත් නොහැකිය. 

ආදරවන්තයන් වූ කාලයේ වල් පල් කියවමින් දැවටි දැවටී සිටි ඔවුන් දැන් එදිනෙදා වැඩ වලින් හෙම්බත් වී ගෙදර පැමිණෙනුයේ මොකක් හෝ යමක් කා බී නිදාගන්නටය. 

එදා සිටි ආදරවන්තයා ඔහු කෙරෙන් පලා ගොස් ය. දැන් ඇය හා යහන් ගතවනූයේ නටබුන් වූ ආදරවන්තයෙකි, ඔහුට වෙහෙසය, ඉක්මනින් කිපෙන සුළුය, සෑම සියළු දෙයකටම උදාසීනය.

 පව්! 

ඈට සිතේ. ඔහු වෙහෙසෙන්නේ ඔහු සඳහාම පමණක් නොව 'අප' ගොඩ නැඟීමටය.

නමුත් 'අප' යන එකකය හට බාහිර පෙළඹවීම් වල නිමක් නැත. නැන්දම්මාට දරුවෙක් ඕනෑකර තිබේ. ඇගේ එකම අරමුණ ඔහුගේ මුහුණුවර ඇති දරුවකු සුරතල් කරන්නට ය. දුවෙක් නන් වඩා හොඳයි ලු. ඒ ඔහුගේ පවුලේ කොල්ලන් වැඩි නිසාලු. 

ඉල්ලුමට දරුවෙකු සපයනවා තියා ඔයාගේ පුතාට ගෙදර වැඩක් කරන්නවත් වෙලාවක් නෑ කියන්න ඈ හට කියන්න සිතුනත් තම ස්වාමියාගේ 'කාඩ්' කුඩු කරන්නට ඇයට නොසිතෙන්නේ ඔහුගෙන් ඈ හට කිසිදු වරදක් මේ වන තෙක් සිදු නොවී ඇති හෙයිනි.

ඔහු තාමත් නින්දේ ය...

ඔහුගේ අතරින් පතර මතුවී ඇති සුදු කෙස් එක දෙක, ඔවුන් තව දුරටත් විසි ගණන් වල පසුවන ජෝඩුවක් බව ඈට මතක් කර දෙන්නේ එක්තරා සුළු තිගැස්මක්ද සමඟිනි.

 නමුත් ඔවුන් මේ වනතුරු දින ගණන් කොට, වෙලාව බල, සියළු වෙද උපදෙස් අනුගමනය කර දරුවෙකු කුසට වඩම්මවා ගන්නට තැත් කරත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනිමේන් වූයේ ඇයි දැයි ඈ නොයෙක් වර පසු තැවුනාය.


ඒක ඕනෑ වෙලාවට වෙයි, ඔයා නිකන් කලබල වෙලා... හිතන්න එපා ඒ ගැන ඔහු මට පවසන්නේ මා සනසන අටියෙන්ද නැතහොත් තමාවම සනසා ගන්න අටියෙන් ද කියා ඈට සැකය. 

කාමරයේ එල්ලා ඇති දින කැපූ කැලැන්ඩරයේ රතු රවුමක් ඇඳපු දිනයට තව දවස් කිහිපයක් ඉතිරිව ඇති සෙයකි.

මේ.... පොඩ්ඩක් නැඟිටින්නකෝ... 

අද සෙනසුරාදා නේ... ඇයි මාව කලින් නැඟිට්ටවන්නේ? මහන්සියි අනේ පොඩ්ඩක් නිදා ගන්න දෙනවකෝ... ඔහු අඳෝනා නඟයි.

ඔහොම ගියොත් ළමයි හදයි! මේ අර දවසට තව දවස් ටිකක් තියෙනවා, ට්‍රයි කරමුද? 

හ්ම්... ඔහු තාම අඩ නින්දේය. 

"මෙහෙම ගියොත් අපිට අම්මාගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා... මට ඔෆිස් එකේ යාළුවෙක් කිව්වා ළමයි හම්බ වෙනනැති අයට හොඳ දේවාලයක් තියෙනවාලු. එකේ බාරයක් වුනාම හරි ලු."

"මොන දේවාලද අනේ මේ උදේ පාන්දර? ඊයේ හවස් වෙනකන් මීටින් තියල ලොක්කෝ මගෙ ඔළුව කන්වා, උදේට ඔයා මගේ ඔළුව කනවා... පොඩ්ඩක් එන්න අපි ටිකක් නිදා ගමුකෝ..."

ඈට ඔහුගේ උදාසීනත්වය ගැන සියුම් තරහාවක් ඇතිවනූයේ, කරදරය ඇත්තේ ඔහුගේ ම මවගෙන් නිසා ය. 

"ඔයා නන් මාර මිනිහෙක්... ඔයා ට බැරි නන් කියන්න මම ගිහින් අර දේවාලේ පූසාරිට කියලාවත් ළමයෙක් හදාගෙන ඔයාගේ අම්මාගේ ඔඩොක්කුවට ගෙනත් දාන්නන්. ඔයා ඔහොම ම නිදා ගෙන ඉන්න."

ඈ ඇඳෙන් නැඟිට ඉවත්ව ගියා ය.



Saturday, August 11, 2012

නුඹ







සඳක් වෙන්න බැරි නම් නුඹ හට


ඉරක් වෙන්න හැකිදෝ මා හට


වෙහෙස දැනෙන මේ ජීවිතේ...



නුඹට කියන්න ට දෙයක් නැත.


Sunday, August 5, 2012

ගේෂාව නම් ගැහැනිය






ගේශාව... 


හැඟීම් තහනම් වූ ව්‍යාජ සිනහාවකින් සැරසී ගත් මුවින් යුතු කත, ඇයට කඳුළක් සලන්නට අවකාශයක්, අයිතියක් නැත. මිනිස් දුවක වන්නට අයිතියක් නැත. ඇය ස්වාමි දියණියක නොවේ, විලාසිනියක ද නොවේ... 


ඇය  කලාකාරියකි. .. ශ්වේත වර්ණ වෙස් මුහුණක් පසුපස සැඟවී ගත් ඈ, පිරිපුන් රතු තොල් සඟලින්, විභාවනයෙන් තොර මුහුණින්, පුරුෂ හදවත් තුල ඇගේ ගුප්ත භාවයන් කෙරෙහි කුතුහලයක්, කැමැත්ත ඇති කරවයි.


රඟන්නී ඈ, ඇගේ සේවාදායකයාගේ තෘප්තිය තකා.... ආලයෙන් වෙලෙන්නී ඈ නොයෙක් වර, ඈ හමුවට එන පුරුෂ රූප හමුවේ... නමුදු සේවාදායකයා තම ගේශාව තොරා ගන්නා ලෙස ඇයට තම සේවාදායකයා තෝරා ගත නොහැක කිසි දිනෙක.


කාලය ගත වී ඈ පැළඳි කිමෝනාවේ රතු කොලරය සුදු වන දින දක්වා රඟන්නී ඈ,  තැන්පත්ව, සිනානොමසෙන වත දක්වා... 


ඇගේ කථාව ඈ හට කියන්නට අවසර නැත. ඇගේ ජීවිතය ගුප්තය, නිහඬය... ඈ කලාකාරියකි. ඈ ගේශාවකි.

Monday, July 2, 2012

කවුළුවෙහි රැඳි මල....


පෙම්වතුනි අමතක කර දමා ඔබේ ආලය
සවන්දෙන්න මේ ආදර කතාව ට,
ඈ කවුළුවෙහි රැඳි මලකි,
ඔහු වනා හි ශිශිරයේ සුළඟ...


කවුළුව සරසන තුහින වේලය
ඉරමුදුනත් කල විලීන වෙද්දී,
කූඩු වූ පඬු කුරුල්ලා
ඇයට ඉහලින් තාලය හසුරුවද්දී

ඔහු ඇයට සන් කොට
යාවි ඈ පසු කොට,
නැවත එන්නට ගොම්මන් අඳුරත්  රැගෙන...


ඔහු වූ කලි ශිශිරයේ සුළඟයි...
ආදරයක් නොදන්නා
හිම කැට, තුෂර
මියැදුන තුරු හා හුදෙකලා සියොතුන්
ඔහු හා සම්බන්ධයි



එනමුත් ඔහු සුසුම් හෙලයි.
එලිපත්ත මත හිඳ
ඇතුලත සිටියන් හට පවා
දැනෙන්නට 
තම සිත,
සොලවයි
ඔහු ඒ වීදුරු රාමුව,
අඩමානයේ රැඳි සිතින් 
ඔහු රැදේවී එක්ව පලා යන්නට
ගෙන ඇයව,
ඇගේ උණුසුම් වූත්, ප්‍රභාවත් වූත්
කවුලු රාමුවෙන් එපිටට...


පසුදින උදෑසන
ශිශිර සුළඟ ගොස් ඇත බොහෝ දුර,
නිමාව සනිටුහන් කොට ඇතියෙන්
කවුලුවේ රැඳි මල
හිස ගස්සා සන්  කොට

සිය අකමැත්ත...


Wind and the Window flower by Robert Frost 


Tuesday, June 12, 2012

La Figlia Che Piange (The Weeping Girl)




පියපෙල හිනිමත්තේ සිට,
ගෙවත්තේ උස් වූ මල් පෝච්චියට හේත්තුවෙයන් නුඹ,
හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි,
වේදනාබර හදින් දෑතේ හිර කරගත් මල් පොකුර 
දමාගසමින් ,
ඉවතට හැරියන් ,
නුඹේ ක්ෂණික වූ කෝපාන්විත බැල්මකින් නෙත සරසා,
නමුත්, හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි..

Saturday, June 2, 2012

රතු වත ඇඳි ඈ ,වෘකයා හා දැව කපන්නා




දරුවා නුඹ ගමනක් යා යුතුයි...

තමාට ලැබුනු නව රක්ත වර්ණ පිළියෙන් සැරසුනු තුරුණු ගැහැනු ලමයා ඇමතූ මව පවසයි. නුඹ දැන් රතු වතක් හිමි දැරියක්, නුඹ ගමන් ගන්නා අඳුරු වන මාර්ගය ගැන සැලකිලිමත් වෙයන්... නුඹට මා කියා දුන් උපදෙස් අනුව  ක්‍රියා කරපන්... මා පෙන්වා දුන් මාර්ගයෙන් එපිට ට නොයා හොඳ ලමයෙකු ලෙස නුඹ නුඹව රැක ගන්න ක්‍රියා කරපන්...

ඒ වන මගේ බියකරු සතුන් බොහෝමයි... නුඹ උන් හට ඇඳුනුම් කම් පෑමට වත් කථාවට වත් යන්න එපා දරුවෝ! උන් නුඹ රවටා වි,උන් නුඹව ගොදුරු කර ගනීවී....

අම්මා, මම පරිස්සම් වෙන්නම්...

රතු වත ඇඳි දැරිය අඳුරු මහ වනය මැදින් දිවෙන ඒ පටු මගේ ගමන් කරන්නට ගත්තාය. අම්මා කියූ තරම් මේ මහ වනය රුදුරු පෙනුමක් නැතැයි ඈට  සිතේ. මග දෙපස වනතුරු වසා නෙක සුවදැති වනමල් ය. වනයේ ඇතුලාන්තයට වන්නට ඉතා රුවැති මල් පඳුරු දකින ඈ ඉන් වශී වන්නීය.

ඈගේ මනස ඒ මල් වල වර්ණයන්ගෙන්, සුවඳින් පිරී යාමත් සමඟ ඇගේ නව යොවුන් සිතේ මවගේ අවවාද හෙමින් වියැකී යන්නට විය.

ඈ තුටින් පිනා ගිය සිත් ඇතිව ඒ මල් නෙලා ගැනුම පිණිස වන වැදුනා ය. නෙක වර්ණවත් කුසුමන් අතර සතුටු වන්නට ගත්තාය.

කුසුම් නෙලමින් සිටි ඈ හට වෘකයා මුන ගැසුණි...

වෘකයාගේ හැඩි දැඩි යොවුන් සිරුර හමුවේ ඈ මුසපත් විණි.

ඈ ඔහු දෙස බලා සිටියා ය.

ඒ දිලිසෙන තියුණු ආගන්තුක ඇස් දෙස ඇය නෙතු නොසලා බලා සිටියා ය.

නවම් වූ රතු වතක් ඇඳි රුවැත්තිය, ඇයි මේ වන මැද තනියම? ඔහු ඇය අමතයි...
මවගේ අමතක වූ වදන් මතින් ඈ ඔහු හා සංවාදයකට මුල පුරන්නී, ගමනක් යන ගමන්...  මේ මල් වලින් සැකසුනු මල් පොකුරක් හදා ගන්න, මල් ටිකක් කඩා ගන්න නැවතුනා....

ඔබ මේ වනයට කෝඩු කාරියක් නේද? ඇයි ඔබ පුරුදු මඟින් වෙන් වූයේ? ආගන්තුකයා ඇයට ලෙන්ගතු වෙයි. මේ වනය ඔබ වැන්නෙකුට අනතුරු දායකයි....  එන්න මා සමඟින්, මා නුඹව ආරක්ෂා කරන්නම්... මා වැන්නෙකු සමඟ සිටින විට කිසිවෙකු නුඹට හානි කරන්න එඩිතර වන්නේ නෑ....

ඔහු ගේ වදන් වල ලෙන්ගතුකම හා අවංකත්වය දෝංකාර දෙයි.

ආගන්තුක වෘකයා, ඇගේ සිත ඔහු කෙරේ විශ්වාසයක් ගොඩ නඟන්නට ද වනයේ අනෙකුත් වාසීන් කෙරෙහි අනියත බියක් ඇති කරන්නට ද මුල පුරයි.


ස්තූතියි... මට නුඹව විශ්වාසයි. ඇය ඔහු හට තම ගමනාන්තය ගැන විස්තර පවසයි.

ඔහු හා ගමන් ගන්නට ගනී. ඔවුන් එකිනෙකා ගැන ආ ගිය විස්තර කථා කරයි. ඇය තමන්ගේ හැඟුමන්, සිහිනයන්, සිත් තැවුල් ඔහු හා බේදා ගනී.

ඔහු සන්සුන් ලීලාවෙන් ඇය සනසමින්, ඇගේ විශ්වාසී අසන්නා, සනසන්නා වෙමින් ඇගේ ලඟ රැදෙමින් ඈ හා ගමන්නාතය ආසන්නය වනතෙක් ආවේය. හරි මම යන්නම්... නැවත දවසක හමුවෙමු යැයි පවසා වෘකයා වෙන්ව ගියේය. ඇය නැවත නැවත ඔහු හමු වීමට වනයට පියමැන්නේ ඇගේ මවගේ අවවාද ද නොතකාය.

එක් දිනක් උදා විය.


ඔහු පෙනෙන්නට නැත.

ඇය ඔහු සොයමින් වනයේ ඇතුලට ගමන් කලාය. ආදරණීය වෘකය, නුඹ කොහිද? ඈ විමසුවා ය. ඈ වැළපුනාය. වෘකයා පැමිණියේය. ඔහු වෙනස් ය. ලෙන්ගතු බව පහවූ රකුසු ඇස් දෙකක් ඇය දෙස බලා උන්නේය.

කාලය නිසි පරිදි සකස් වී ඇත. ඈ ඔහුව සපුරා විශ්වාස කරන්නීය. මම නුඹව අද ගොදුරු කරගන්නවා! වෘකයා ඇය අමතයි....ඈ  සන්සුන් ව බලා සිටියා ය. වෘකය මම නුඹ ට ආදරය කරනවා... නුඹට රිසියක් කරගන්න... ඈ බිදුනු හදින් ඔහුව අමතන්නීය...

වෘකයාගේ ගොදුර වූ ඈ, වෘකයාගේ අඳුරු ඇතුලාන්තයට වී සිහින් හඩින් ඉකි බිඳින්නීය... ඇගේ දෛවය ගන සිතමින් හඬන්නීය...

වනයේ දැව කපන්නා හට මේ හඬ ඇසිණි. වෘකයාගේ ඇතුලාන්තයෙන් එන ගැහැණු හඬ දැව කපන්නා  කෝප කරවයි. ඔහු වෘකයා මරා දමා ඔහුගේ ඇතුලාන්තයෙන් ඇයව මුදා ගනී.


රුවැත්තිය... නුඹ දැන් නිදහස්. දැවකපන්නා ලෙන්ගතු කමින් පැවසීය.


නුඹට ස්තූතියි... මාව මුදා ගත්තාට ඇය පවසයි. ඈ වෙනස් ව ගොස් ඇති සෙයක් ය.. වන‍යට පිවිසි ගැහැනු ළමයා දැන් නැත.

ඇය ඔහු හා හාද වෙයි. ඔහු හා ගමන් ගනී.දැව කපන්නානෙනි... නුඹට මහන්සි ඇති ඈ පවසයි. දෙන්න නුඹේ පොරව මම ටික දුරක් ගෙනයන්නම්, මට උදව් කරන්න ඉඩ දෙන්න...

මදහසකින් වත සැහැල්ලු කරගත් ඔහු ඇයට තම පොරව බාර දෙයි.

ඇය සිනාසුනා ය.

ඇය ගත් සැනෙන් දැවකපන්නාගේ පොරවෙන් ඔහුගේ ගෙල කපා සිනා සලමින් තවත් වෘකයන් හා දැවකපන්නන් සොයා වනය තුලට දිව ගියා ය.



Thursday, April 12, 2012

බලාපොරොත්තුවේ අවුරුද්ද





සැබෑ වෙන්න කියලා පතන, පොඩි හීනයක් හිත ඇති අවුරුද්දක්.  


අළුත් අවුරුද්ද එලඹෙන්නේ ජනවාරි ද අප්‍රේල් මාසයේද කියන එක හිතනවට වඩා කොයි මාසේ හෝ ලබන්නාවූ නව අවුරුද්දේ ඒ පුංචි පැතුම හැබෑ වෙනවා දකින්න ආසයි. යන්න තියෙන පාර රෝස මල් පෙති අතුරපු එකක් නොවුනත් දුක් විඳලා ලබාගන්නා දෙයක ඇති සතුටට මම කැමති. 


"විවර කර තබනු නුඹේ හදවත සිහිනයන් හට, සිහින බලාපොරොත්තු ජීවත් කරවයි. බලපොරොත්තු නුඹේ දිවිය සතුටින් පුරවාලයි"

මේ අවුරුද්දේ පොඩි පොඩි හීන සඵල කරගන්න වෙර දරන කාටවත් අභාග්‍යයේ සුනාමියක් නොම එවායි කියලා ප්‍රාර්ථනා කරනවා!!


 සෑම සියළු දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!



Tuesday, April 3, 2012

Paradise (ඇගේ පාරාදීසය)




ළමා කල ඈ සිහින මැවූ ලෝකය
ඇගෙන් ගිලිහී ගොස්
හොරෙන්ම....
ඉදින් සිහින දකින්නී 
ඈ,
පලාගොස් නිදි දෙව්දුව සමඟින්,
සිහින දකින්නී
ඈ,
ඇගේ පාරාදීසය...



ගෙවී යන ජීවිතයේ
දුෂ්කරත්වය,
සමනල තටු සිඳලයි...
දිවි චක්‍රය
සෑම කඳුලැල්ලක්ම
දියඇල්ලක් වූ කලෙක,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
දෑස වසාගන්නී ඈ,
සෑම රැයක්ම
කුණාටු රත්‍රියක් වූ කලෙක.
පියා සලන්නී ඈ,
පාරාදීසය සොයා


වැතිරී ඒ කුණාටු අහස යට
සැනසෙන්නී ඈ,
සූර්ය්‍යා පහන් වෙන්නේ යලි දිනෙක උදාවීමට
කියා

My Translation of the song Paradise by Coldplay





Wednesday, March 28, 2012

ජංගිය






මම ජංගිය ගලවා දමමි...


ඇඟේ නූල් පොටක් වත් නැතිව අමු හෙලුවෙන් හිදිමි... හෙලුවෙන් ඉන්නට මම ආස ය. හැමදාම රෑට ජංගිය ගලවා දමා බූරු ඇඳේ බුදියන එක දැන් මගේ පුරුද්ද ය. එතකොට හොඳට නින්ද යයි. දාඩියත් නොදායි. විකාර හීනත් නොපෙනෙයි. කොටින් ම කිසිම කරදරයක් නැත. උපන් ඇඳුමේ වැදගත්කම ඒකය!


තවම මට අවුරුදු දහයකි..... ඒත් "ආත්තම්මා" කියන විදිහට තවම මට අටහමාරක් වත් පැන නැත. "තාම කටින් කිරි සුවඳ ගිය නැති එකා.... මොනා දැනුං තේරුම් තියේදැයි."..... උන්දෑ මා ගැන කාටත් කියන්නේ ඒ නිසාය. ඒත් මම ඒ කතා වලට ඇහුන්කන් නොදෙමි! උන්දෑ කියන තරම් මං "හුජ්ජ කොලුවෙකු" නොවන විත්තිය මම හොඳටම දනිමි. 



ඒ කොහොම උනත් වඩාත්ම වැදගත් කාරණාව මේකය.... මං ජංගිය ගලවා දැමීමය. අමු හෙලුවෙන් ඉන්ඩ ප්‍රිය කිරීමය. ඒක එහෙම වෙන්නේ, මං "හුජ්ජ කොලුවෙකු" නිසා නොව, මිනිහාගේ උපන් ඇඳුම ගැන මට තියෙන භක්තිය නිසා ය. ඉස්සර දවස්වල මිනිහා අමු නිර්වස්තරයෙන් හිටි බව මම අපේ මාමාගෙන් අසා ඇත්තෙමි.


මට මගේ අම්මා ගැන නිච්චියක් නැත. පුංචි දවස්වල එහෙම කෙනෙක් හිටි බවක්වත් "ආත්තම්මා" මට කියා නැත. අදත් මට එහෙම කෙනෙක් නැත. ඒත්, මගේ බජාර් එකේ ගොඩක් යාළුවන්ට අම්මලා සිටිති; තාත්තලා සිටිති. එහෙම උදවිය ගැන, උන් ඇවිත් මා සමඟ කතා බහ කරති.... ඒ උනත් ඒ ගොල්ලෝ ඉන්නේ මොකටද කියන එක ගැන මට තේරුමක් නැත. ඒ හින්දා මම ඒ ගැන වැඩිපුර නොහිතමි.



ඒත්, අපේ ලේන් එකේ ඉන්න "බොන්ඩිගේ පුතා" දවසක් අපූරු කථාවක් කීවේය...


බොන්ඩිගේ පුතා වපරයෙකි!! බකල් කකුල් දෙකක් ඌට ඇත. මගේ නාහෙන් නිතර නාවර පෙරෙන බව, ඌ මා නැති තැන නිතර කියයි. උගේ මූණේ නාවර නැත. "රෙබෙකා පුයර" දවසකට දෙවරක් අතුල්ලන බව ඌ හැමදාම කියන කතාවකි. ගොඩක් දවස් වලට මම මගේ නාහෙන් හොටු හූරා උගේ මූනේ අතුල්ලමි. පුයර උඩ හොටු තලි ඇලුනු විට හරි ෂෝක් ය. එතකොට "බොන්ඩිගේ පුතාට" කේන්ති යන බව ඇත්තය. ඒත් ඌ මට අත උස්සන්න එන්නේ නැත. මම බජාර් එකේ චන්ඩියා වෙමි.!!!



ඒත් බොන්ඩිගේ පුතා මට නොඅල්ලන කාරණාව මේ එකක්වත් නොවේ. ඌ සමහර දාට කිරි කොකා වගේ ඇඳගෙන, රබර් කෑලි දෙකක් කකුල් දෙකට පූට්ටු කරගෙන පාත්තයෙක් වගේ පස්ස නටෝ නටෝ ඉස්කෝලෙට යයි. ඉස්කෝලෙට යන එවුන් මම අප්‍රිය කරමි. උන් අසම්ජ්ජාති බල්ලෝ ය; තිරිසන්නුය; එළ හරක් ය. මට උන් පෙන්නන්ඩ බැරිය.


මම අපේ ලේන් එකේ ඉස්කෝලේ යන එවුන් සහ නොයන එවුන් ගණන් කලෙමි.


සංගණනය මෙසේ ය.


ඉස්කෝලේ යන           14
ඉස්කෝලේ නොයන     23


පසුව මම ඉස්කෝලේ නොයන එවුන්ගේ රජා හෙවත් චන්ඩියා බවට පත් වුණෙමි. එයින් මතු අපි ඉස්කෝලේ යන එවුන්ට "පිංපියන්" යැයි කීමට පුරුදු වුණෙමු.


දැන්  "බොන්ඩිගේ පුතාත්" පිංපියෙකි....


මුලින් කී පරිදි ඌ දවසක් හැබෑම පිංපි කතාවක් කීවේය.



එය " පිංපි කතාවක් ම" වන්නේ ඒක උගේ ඉස්කෝලයේ ම උගන්වපු එකක් නිසාය. මා හිටි තැනක නම් මේ සම්බන්ධ කිසිම කිප්පහි කතාවක් දොට්ට දමන්නට මම ඉඩ නොදෙමි. ඒත් ඌ මා නොමැති තැනක මේ කතාව දොට්ට දමා ඇත.
මට ආරංචි වූ පරිදි කතාව මෙසේ ය...


".... බොන්ඩිගේ පුතාගේ ඉස්කෝලයේ "දෙමව්පියන්" නැමති සත්ව විශේෂයක් ගැන උගන්වා තිබේ. ඔවුන් අම්මලා හා තාත්තලා වෙති. තවද, ඔවුහූ තම දරුවන්ට කරුණාවන්ත වෙති. තම දරුවන්ගේ දියුණුව ඔවුන් ඉත සිතින් ම පතයි. ඔවුන් කුඩා කාලයේ දරුවන්ට තරවටු කරන්නේත් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ය. මෙසේ වූ දෙමව්පියන් අප උදේ සවස වැඳ නමස්කාර කළ යුතුය. ඔවුන්ගේ අවවාදයේ පිහිටිය යුතුය....."  


මේ තුප්පහි කතාව දැනගත් විගස මම අපේ විසිතුන් දෙනාගේ කල්ලිය ආයුධ සන්නද්ධ කළෙමි. පසුව දා හතර දෙනාගේ පිංපි කල්ලියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළෙමි.....


එදා ම හවස වතුර පයිප්පය ළඟ "මහ යුද්ධයක්" ඇතිවුනේය. අපි පිංපි කල්ලියට ගඩොල් භාග වලිනුත්, බොරළු කැට වලිනුත්, ඇල්බීසියා කෝටු වලිනුත් පහර දුනිමු. මේ යුද්ධයේදී, මගේ ජංගියේ පස්ස පැත්ත ජුංඩක් ඉරුනේ ය.... මට සිදුවූ අලාභ් හානිය එපමණක් ම විය.


( මෝහන් රාජ් මඩවල- බෝදිලිමා කෙටි කථා නිර්මාණ එකතුවෙනි )




Tuesday, March 27, 2012

අවජාතකයා !









අරූ යන හැටි විතරක්...


 හෙනම ආඩම්බරෙන් යන හැටි....


ඕකා හිතාගෙන ඇති ඌ මහ රජාගේ පුතා කියල..


අවජාතකයා!


ඕකගේ තාත්තා ගෑනු කියක් එක්ක නන් නැටුවද?


අන්තිමට ඕකගේ අම්මත් එක්ක නටලා තමා ඒකිව බඩ දරු කරලා ගියේ.
මම හිතන්නේ ඕකගෙ අම්මා ඕකට ඔය වගක් කියලා නැතුව ඇති.


ඔව්!  මම ඒ ගෙදර කාලයක් වැඩට ගියා නේ. ඒ නෝනා දරුවට කියලා තියෙන්නේ තාත්තා ඇක්සිඩෙන්ට් එකකින් නැතිවෙලා කියලා.


 තාම පොඩි එකා නිසා වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. හිටපු ගමන් ඒකා අම්මේ දැන් තාත්තා කොහෙ ඇද්ද? කියලා අහනවා.


පව්! නෝනා ඔහේ බලාගෙන ඉන්නවා. 


හැබැයි. ඒ නෝනා මහත්තයා මත්තේ නන් අඬා වැළපිලා ජීවිතේ නැති කරන් නෑ ඕන්. ඒ නෝනා දැන් හොඳ තැනක ලොකු පඩියකටනේ වැඩ කරන්නේ.


මොන ලොකු කමක් ද බන්. මිනිහෙක් එක්ක නටලා ඒ මිනිහා තමන් ව බඩදරු කරලා යනකන් බලාගෙන ඉන්නේ. ඒ මිනිහා ගැන නොදැන හිටියා වෙන්න බෑනේ.


ඒ මදිවට අර අවජාතකයත් එල්ලන් හරි උජාරුවෙන් වාහනෙන් එහෙ මෙහෙ යන හැටි.
මම නන් ඕකව කාට හරි හදාගන්න වත් දෙනවා.


උඹට පිස්සූ!! ඒ නෝනා ඒ ළමයාට හරිම ආදරයක් තියෙන්නේ...


ඇස් දෙක වගේ බලාගන්නේ..


ඒත් වැඩක් නෑනේ

ඌ අවජාතකයෙක් !!


Tuesday, February 28, 2012

මතකය





පෝයත් ගෙවිලා ගියා. මිදුලට ඉහලින් කලුවර අහස මැද දිදුලන හඳ දිහාව මම ටිකක් වෙලා බලාගෙන හිටියේ ඒ වෙලාවේ කිසිම අරමුණක සිත නොතිබුන නිසයි.

පුංචි තරු ගොන්නක් මැදි කරගෙන හරි ආඩම්බරයෙන් දිලිසෙන හඳහාමි,නුඹ ගැන ඇති මතකයට කාල දින වකවානු හදා ගන්නට නොහැකිව මා සිතින් දැවෙන විට නුඹ පෙර පරිදිම හිනා වෙන හැටි! 


එදා වගේම නුඹ අදත් හරි හැඩයි,නෙතට ප්‍රියයි. පොඩි කාලේ හඳ ඉල්ලා  හැඩුවා නේද කියලා මතක් වෙද්දී හිතට සියුම් ලැජ්ජාවක් ආවත් ඒ නොලැබුනු හඳ නිසා ජීවිතය ගැන ඉගෙන ගත්ත පාඩම ගැන මම හදට ස්තූතිවන්ත වෙන්න ඕනේ කියලා එක පාරටම මට හිතුනා.


 නුඹ මට කියා දුන්න ඒ පොඩි පාඩම මාව ජීවිතයේ ගොඩක් ඉස්සරහට ගෙන ගිය බව නුඹ හට නොකිව්වද, මට පමණක් ඇහෙන මේ සිතිවිලි කියනවා. හිනා වෙන්න, ඇති තරම් හිනා වෙන්න!


 මගේ කිසි තරහක් නෑ. නුඹට නොපෙනුනද නුඹ ගැන දුටු සිහින කන්දරාවේ නටඹුන් අදටත් මේ සිතේ අදුරු කොනක සැගවී තියෙන බව මම අකමැත්තෙන් උනත් පිලිගන්නවා.


 ඒත්! 


නුඹ එය දැන නොගන්නේ මා පළදාගෙන ඇති වෙස් මූණට පින් සිද්ද වෙන්න. මොන දේ උනත් කමක් නෑ කියලා හිතේ කහටක් නැතුව ස්තූතියි කියන්න හැදුවත් මම,මොනවා කරන්නද…. 


ඒදා වගේම තමයි අදටත් නුඹට මා නොපෙනෙන අපූරුව

Monday, February 6, 2012

...මට දැනෙනවා ආදරේ...







පුදුම නිදහසක්... 


මගේ සිත පියාසර කරනවා, කුරුලු පියාපතක රැදි සැහැල්ලුවෙන්....

හිත ඇතුලාන්තයේ තෙරපී තෙරපී පිට වෙන්නට පොර බදින සොදුරු සිතිවිලි රාශියක් පදවැල් වලට පෙරලී පොත් පිටු අතර සැගවිලා ඉදන්හොරැහින් ඉගි බිගි පානවා, හරි සතුටින්...


සිතිවිලි අහුරක් සිතත් එක්ක අපූරු සටනක... 


සිහිනයත් යතාර්ථයත් අතර අතරමං වුනු මම කිසි දෙයක් නොදැනෙන විදිහට බලාගෙන ඉන්න හිතුවත්... 


කෑ ගහලා කියන්න හිතෙනවා හිතේ ඇති හැම දෙයක්ම... 


නුඹ මට දැනෙන අපූරුව.... 


දැනෙනා හැටි නුඹට ඇති ආදරය... 


ඔව් සහතිකයි මට ආදරේ දැනෙනවා...


කියන්නද මම නුඹට කවුලුවෙන් එපිට ඇද හැලෙනා වස්සානයත් සමග පාවී එන මල් සුවද කැටිවූ සුළග, නුඹ ගැන ගීයක් මුමුණන වග...


නුඹ තේරුම් ගනීවිද...


හිතේ කොනක සියුම් ප්‍රශ්නාර්ථයක් එනමුදු මට දැනෙනවා... 


හැම දෙයකම ගැබ් වූ සුන්දරත්වයක්, ලස්සනක් වෙන කවරදාටවත් වඩා...


ඔව් මට හැගෙනවා....


 මට දැනෙනවා ආදරේ... 

Saturday, January 28, 2012

දයාබර ප්‍රශ්නවැල...





ප්‍රශ්න... ජීවිතය වෙලාගෙන හෙමිහිට ගෙල මිරිකා දමන්නට උත්සහා ගන්නා මහා එපා කරපු සතුරෙක්ගෙ වෙසක් අරගෙන ජීවිතයට ආයෙත් එබිකම් කරන්න අරන්. උඹට නොතේරුනාට, මම හුස්මක් අරන් ආයෙත් ජීවත් වෙන්න හැදුවා විතරයි... දයාබර ප්‍රශ්නවැල...උඹ කලුවර කොනකට වෙලා හැංගි හැංගි කල් මරලා ලක ලෑස්ති වෙනවා. මටත් නොදන්වා සිනාවක අග්ගිස්සක එල්ලිලා, මුලු ජීවිතේම අපායක් කරන්න කඩාපාත් වෙනවා. එක අතකට උඹේ ඇති වැරැද්දක් හොයා ගන්නත් බෑ... ඒ තරමටම උඹත් හරියට නැතුවත් බැරි ඇතුවත් බැරි කෙනෙක් වෙලා...


 දැන් නන් වැඩිපුර හිනා වෙන්නෙත් හරි සෝදිසියෙන්. හිනා වෙන තරමටම අඩන්න වෙනවා කියලා උගන්නන්න නුඹ ඒ දවස් වල හරි උජාරුවට වටිනා සලුපිලි දවටාගෙන ඇවිත්, මගේ වටේ කැරකි කැරකී ඔච්චම් කරපුවා දැන් නන් මතකත් නැතුව ඇති. 


ජීවිතය කියන්නේ පාවි පාවී ගෙවන්න පුලුවන් සුන්දර කාල පරිච්ඡේදයක් නෙවේ කියලා මට ඒත්තු ගන්වන්න උඹ වෙහෙස උන හැටි, මම ඒ පාඩම දුක් මහන්සියෙන් ඉගෙන ගන්න දිහාව උඹ උපෙක්ෂාවෙන් බලාගෙන හිටපු හැටි...


 නුඹේ එක් කඩඉම් විභාගයක් ජයගෙන උදම් වෙන මට,නැවත නැවත එක පිට එක පරික්ෂණ රැසක් පනවපු විදිහ මම කොහොම අමතක කරන්නද.... 


දැන් මට මහන්සියි, මට තෙහෙට්ටුයි... නුඹ සමග හැප්පෙන්න තරම් මට දැන් හයියක් නෑ... උඹ ආයෙම මගේ ජීවිතේට එන්න කලින් ටික කාලයක් මට ජීවත් වෙන්න අවසර දෙන්න.... මටත් ජීවිතයේ වින්දනීය පැත්ත ගවේශනය කරන්න දෙන්න... ඒදා වගෙමයි...උඹ අදත් කිසි පිලිතුරක් නොදී නිහැඩියාවෙන් මාව පෙලනවා... නමුත්


 මම උඹ එක්ක තරහා නෑ.

Wednesday, January 18, 2012

ආදරණීය වසන්තය





ආදරණීය වසන්තය හෙමින් හෙමින් ඇවිත්,දෙනෙත් අභියස ඉගි මරමින් ජීවිතය වින්දනය කරන්න එන්න කියලා ආරධනය කරන්න අරන් නැවතත්...ඇවිදින්,දැන් ඉතින් සතුටු වෙන්න, හිනා වෙන්න...දැන් අර වේදනාත්මක, කටුක සීත කාලේ හමාරයි කියලා සිත සනසවනවා. ලගින් ඉදන් හිස පිරිමදිමින් ආදරණිය උණුසුමකින් හිත පුරවනවා...එන්න...නින්දෙන් අවදි වී යන්තම් හිස ඔසවා හිනා වෙන මල් කැකුලු අතර ඇවිද යන්න,ගලා යන දොල පාරේ සංගීතයට කන් දෙන්න, කුරුල්ලන්ගේ කතා අහන් ඉන්න... එන්න කියලා කියනවා...අතීතය නුඹට දුන්න වේදනාවන් අමතක කරන්න,ඉඩදෙන්න මට...පුරවන්න ඔය හිත ආදරයෙන්,සරසන්න ඔය වත සොදුරු හසරැල්ලකින්...ඉඩදෙන්න මට...නුඹේ ජීවිතය සමග පෑහෙන්න...ඔව් මගේ හිතත් පොරබදිනවා...නුඹ හා එක්වන්න...කවුලුවෙන් පෙනෙන ඒ සුන්දරත්වය දිහාට නෙත ඇදෙන වාරයක් පාසා මේ කලුවර, දොම්නසින් පිරි කාමරයෙන් එලියට ගිහින්, මග බලාගෙන ඉන්න වසන්තයේ දෝතට දුවගෙන යන්න...ගිහින් ඒ උණුසුම හොද හැටි විදගන්න...ජීවත් වෙන්න...සතුටු වෙන්න...හිත ආසාවෙන් ඉපිලෙනවා...හිත සතුට දරාගෙන නුඹ හා එක්වන්න ඇවිදගෙන එන්නද මම? බලාපොරොත්තු පිරි හිතක් දෝත දරාගෙන

Wednesday, January 11, 2012

ප.ලි. ජීවිතය සුන්දරයි




ආදරණීය ජීවිතය,


නුඹට අපහාස කොට, හිරිහැර කොට, නිගරු කොට බැන වැදුනු මම සමාව අයදින අටියෙන් නුඹට මෙසේ කියමි...

Saturday, January 7, 2012

Friday, January 6, 2012

මම සතුටින්







මම අද ගොඩක් සතුටින්... හරිම සාමකාමි ප්‍රසන්න හැඟීමක්!! කියලා තියෙනවානේ Happiness is Bliss කියලා... අද නම් ඒ වගේ තමා....

Related Posts Plugin for WordPress, Blogger...