Thursday, February 2, 2017
හිමගිරි අරණේ, මනමේ කුමරිය
හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි.... අසලක කිසිවෙකු හෝ නැත. දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය.
ඔව්.... කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට, කටපුරා නුඹට කියන්න ට හැක, "අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව..."
නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ හැඩිදැඩි සිරුර ට ආලය කර, හිම ගිරි අරණක රැජින ක වීමට සිහින දැකපු, එතෙක් කල් අසලින් වෙලුනු, ප්‍රේම ගී ගායනා කරපු මනමේ කුමරුන් මරන්නට, අසිපත වැද්දෙකු අතට දුන් මාගේ නොගැඹුරු ච්ත්තාකල්පනයන්ය, මාගේ ළඳ බොළඳ මානසිකත්වය ය.
ඉතින් සරදමින් හැඩගැන්වූ ස්වරයෙන් නුඹට කිව හැක්කේ අන්න බලන් කුමරිය මනමේ, තනිවී ඇත හිම ගිරි අරණේ කියා ය.
මම කිසිවක් නොකියමි කිමද වැදි රජුට පෙම් කල බව කීවේ ද නුඹම ය. කඩුව ඔහු අතට දුන් බව කීවේ ද නුඹම ය. මනමේ කුමරා මරණයට පත් වූයේ මා නිසා බව කීවේ ද නුඹම ය.
මෙහි මනමේ කුමරයා හෝ වැදි රජු නොවැදගත් චරිත වන්නේ මාගේ ඒ නොගැඹුරු චිත්තාකල්පන නිසාවෙන් කඩුව වැදි රජුට දුන්නා යැයි ඔබ කියනා කතාවට වැඩි වටිනාකමක් හිමි වන නිසාවෙන් බව ඔබ ත් හොදාකාරවම දන්නවා යැයි මම සිතමි.
මනමේ කුමරු ට කඩුව දුන්නා යැයි නුඹ කිවහොත්, බරණැස රජ සැප විඳිනට ඇති ආසාවෙන් නිර්නාමික, ගිරි අරණක වෙසෙන වැද්දෙකු ගේ පපුව කඩු තුඩකින් පසා කරන්නට හැකි වූ පවුකාරිය වන්නේ ද මම ම ය. මනමේ කුමරුන් මරන්න ට කඩු ව වැදි රජු ට දුන හෙයින්, එහි වැරදිකාරිය වී ඇත්තේ ද මම ම ය.
මෙම කතාවේ කුමන අවසානයක් ගැන සිතුව ද අවසන ඔවුන් දෙපලම , කතාවේ අවසානය ගැන ඇති වගකීමෙන් නිදහස් කොට මගේ සිතිවිලි හා තීරණ වල දිග පළල මැනීමට, සමාජයී ය ආකෘතිය නැමති කෝදුවත් රැගෙන, නඩුව නුඹම අසා, ඇසින් දුටු සාක්ෂි නුඹ ම දිවුරා පවසා,තීන්දු ව ද නුඹ ම ගෙන වරදකරු මා කොට අවසානය.
මනමේ කුමරිය අවසන නොදන්නා හිම ගිරි අරණක, ඇගේ වරදින් ම, තනිවී ඇති බව පමණක් නුඹ හට කීම ට ඇත.
ඔව්, වැදි රජු ට පෙම් බැන්දේ ද මනමේ කුමරිය ම ය. මනමේ කුමරුන් මරා දැම්මේ ද මනමේ කුමරිය ම ය. වෙන කිසිවකු ගේ වැරද්දක් මෙහි ඇත්තේ ද නැත. ඉතින් කිසිවක් නොකියමි. කිසිවක් නොසිත මි.
සියල්ල මැදිහත් සිතින් දරාගෙන හිම ගිරිඅරණ වෙත නෙත් යොම මි.
Sunday, September 18, 2016
වියපත් කවිකම....
ඉස්පිලි, පාපිලි හැලී,
මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුන
කවියක පණ නල ගැහෙන,
පොඩි වූ කරදහිය...
දූවිලි ගසා පිසදා,
රිද්මයක් නැති, නාඩි වැටෙන හඬට
සවන් දෙන,
වියපත් කවිකම....
Saturday, April 30, 2016
තක්කඩිකමක මහත
මම හොඳටම නපුරු වී ඇත. හොඳට නපුරු වන්නේ කොහොමදැයි අසන ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට අකැමති බැවින්, මම නරකට නපුරු වී ඇතැයි පවසමි. එවිට ඔබ පවසනුයේ නරකට නපුරු වන එක හොඳ බවය. වචන විජ්ජාකාරයෝ. මම මගේ ජීවිතේ එක්ක තරහින්ම පසුවන්නියක්මි. නිදහසේ උස යන ගස් වැල් එක්ක අන්ධකාරය ආණ්ඩුමාට්ටු කරන ඉර එක්ක, නිස්කාසුවට හිරිහැර කරන හඳ එක්ක තරහා වී අවසන්ය.
මට වැඩිපුරම තරහා ඇත්තේ මගේ නාසය සමඟය. මම කණ්ණාඩිය අබියසට පිවිසෙමි. තුණු සිරුර නරඹමි. කුදු බව පසක් කර ගමි. පැටි කල පටන්ම මා මට ආදරේ කල බව මතක ය. මුසාවාදා කුමට ද? මට අවශ්ය්ය වූයේ මං ම වීමට ය. එ පමණෙකි. එ නමුත් දැන් මා මං වීමට ඉතිහාසයක් පුරා වෙර දැරූ 'මං' සමඟ තරහින්ය. මා තවමත් රූපයෙන් අනූන බව මට දැනුනහොත් මා තුල කේන්තිය ඇවිස්සෙයි. මා තවමත් තාරුණ්‍යය යෙන් ආඪ්‍යය බව දැනුනහොත් ඒ කේන්තිය තීව්ර කරෙයි. ඉදින් මම තනියම දෛනිකව තට්ට තනියම කේන්තිය සමරමි. මගේ පරම අභිලාශය ජීවිතය අහවර වන තුරුම මගෙන් ම පළිගැනීම පමණි.
ආදරය හරිම අහිංසක යැයි කියන්නේ කවුරුන්ද? ඇත්තටම නම්, ආදරය අසීමාන්තික ලෙස නපුරුය. ඒත් සියල්ලන්ම එසේ නොකීමට වග බලා ගනිති. එසේ නොකිරීමට නො වේ.
******************************
ඇතැම් විට-ඇතැම් විට යැයි කීවාට බොහෝ විට- මම අවදි වී, අවදි නො වුවා සේ හිඳිමි. අවදි වන්නේ කුමකටද? ඒත් ඒ හීනයන් බව අතටම හසුවූ කල, අඬන්නට හිතෙන එක අසාමාන්‍ය ය රෝගී තත්වයක් ද? ඒත් මම නොහඬමි. මම 'සතුටින් සිටිමි'යි සිතමි. ඇතැම් විට වේදනාවම සතුටක් නොවන්නේද? ඔව්... ඇතැම් විට... ඇතැම් විට ඔබ මට ආදරේදැයි සැක සිතෙයි. එය පුංචි, ඉතා කුඩා, ඉතා දරුණු සැකයෙකි. එහි ඉතා කුඩා ගුණාකාරය කුමක්දැයි හිතෙන එකම විස්මයජනක අමන්දානන්දයකි. ඔබ මට ආදරේ කරතැයි මට හිතෙන විට මගේ අත පය , පණ නැතිවී හිරි වැටී යයි. සහළවා උණෙන් හෙම්බත් ව යන්නා සේ සිරුර වෙව්ලයි. ඒ සා විසල් ආශ්චර්‍ය්‍යයක් කොහොම ඉවසා වදාරන්න ද?
ඉදින් නම් අවම වශයෙන් මම ඉකිබිඳින්නෙම් වෙමි. එය උගුරට ඇසෙන්නේ නැත. ඒ ඉකිබිඳිල්ල කටහඬට පවා නෑසෙන්නට ය. දැන් ඉතින් ටිකක් වත් අඬනවා නම් ඇස් දෙකට පවා නො දැනෙන්නට ය.
කාට නො තේරුනේ වුව 'මම' යන ප්‍රාණයේ තේරුම, ඈත ගහක්, ගලක්, තේරුම් ගෙන ඇතැයි මම සිතමි. තේරුමක් නැති සිතිවිල්ලක් යැයි නොකියන්න, අසමාන, අසමබර, අසීලාචාර, නොගැලපෙන ශරීර කූඩු දෙකක් ඇතුළත, ටක්කෙට ම සමපාත වන හදවත් දෙකක පිහිටා තිබීම ඔබ විග්රහ කරන්නේ කොහොමද? එය දැක දැකත් නොදැක්කා සේ සිටීමට හා එය දැන දැනත් නොදැනුනා සේ සිටීමට ඒ හදවත් වලට හැකි බව ඔබ සිතන්නේ ද? උත්තරය 'ඔව්' නම් ඉන් ගම්‍යය වන්නේ තක්කඩිකමක මහත ය. ඔබ නම් සුපිරි තක්කඩියෙකි. අසම සම තක්කඩියෙකි. අසමජ්ජාති තක්කඩියෙකි. මහ ම මහ තක්කඩියෙකි.
මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන. (පිටු 55-57)
Sunday, April 24, 2016
ආත්මය සොයා යෑම
නිර්නාමික වූ හැන්දෑවක,
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව,
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව,
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....
Saturday, December 6, 2014
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ
දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.
මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.
ශ්රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී්රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.
මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී්රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.
ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.
සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.
සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.
(උපුටා ගැනීමකි )
Wednesday, October 15, 2014
කටු බැල්ලිය
පින්කි!
ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින් පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය.
ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත. ඈ හට ඕනෑම බල්ලෙකු හා හාද වීමට හැකියාව ඇත. නමුත් එකදු බල්ලෙකු ඈ හා හාද නොවන්නේ මන්දැයි ඇයට මහා කුහුලකි.
මේ බලු රැලේ එක් බල්ලෙකු දෙස බැලූ ඈ මූ සමඟ කෙසේ හෝ යාළු වෙමි ය කියා සිතා ඌ පසු පස නිති හඹා යමින් ඌ හට නිරන්තර සැලකුම් හා යටහත් පහත් බාවය ප්‍රදර්ශනය කරන්නට විය.
බල්ලා සිය උපරීම මහේශාක්‍ය ලීලාව මේ කටු බැල්ලිට පෙන්වමින් ඇගේ සැලකිලි තමන්ගේ මවිල් ගහකට පවා නොදැනෙන බව බැල්ලියට දන්වන්නට නොපසුබට විය.
නමුත් බැල්ලිය ඒයින් අධෛර්යයට පත් නොවූයේ තම හැකියාවන් ගැන ඇය මහත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසාවෙනි.
කුලල් කා ගනිමින් සපා ගනිමින් ඒ බැල්ලියද ඒ බල්ලා යන එන සැම තැන දින ගත කරන්නට වූයේ දිනෙන් දින කෙසේ හෝ තමන්ගේ අභිලාශය මුදුන්පත් කර ගැනීමේ අරමුණෙනි.
අද ද මහ මග ඒ බැල්ලිය තම අරමුණ පසු පස හඹා යාවි.
Monday, August 11, 2014
Augustus හමුවීම
"ඉතින් මොකද්ද ඔයාගේ කතාව? "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය.
"මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ...."
"නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.
ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ."
"හ්ම්"
"ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේම කරගත්ත කෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක් දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්! එහෙම වෙලා මිනිස්සුන් ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලා ඇති කියලා."
සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා.
"මම ඉතා සාමන්‍ය කෙනෙක්."
"මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද? හිතට එන පලවෙනි දේ කියන්න"
"හ්ම්. මම කියවන්න කැමතියි."
"හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ?"
"හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්..."
"ඔයා කවිත් ලියනවා ද?"
"නෑ නෑ... මම කවි ලියන්නේ නෑ."
"ඒකනේ, හේසල් ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ..."
"හ්ම්, මම හිතනවා එහෙම"
"ඉතින් කැමතිම පොත මොකද්ද?"
ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.
ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත! හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.
අන්තිමේදී මම ඔගස්ටස් ට මගේ ඒ පොත ගැන කිව්වා.
"මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි."
"ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද??"
"නෑ!"
"එහෙනන් storm troopers?
මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.
ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.
අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.
ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය.
"මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.
පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය.
"සීතල යි."
මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය.
"ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම."
"මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.
(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්)
Saturday, April 12, 2014
අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්
අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා. ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නන අවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...
අංක එක - අවුරුදු කුමරිය
- මේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවා
- කොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....
- ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්
- නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේ
- පර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....
අංක දෙක - මිස් ශ්‍රී ලංකා
- පිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩී
- පෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයි
- කොන්ඩයේ දිග පළල වැඩක් නැත
- පර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇත
- ඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය
අංක තුන - සුපර් මොඩල්
- කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුර
- ඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාව
- ලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේ
- තවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුය
අන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රම
මේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද? සමහර විට මට මඟ හැරුන දේවල් ඇති...
;)
Sunday, January 5, 2014
ඔහු/ඇය
මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....
ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....
නුඹ, නුඹගෙ අනාගත අභිප්රායන්, සැබෑ නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් හට කියාවි...
සතුටක මුල් සහකරුවා/සහකාරිය ද වන්නේ ඔවුන් ය, දුකකදී නුඹ හා එක් ව හැඬීමට හා නුඹගේ සතුටේදි එක්ව සිනාසීමටත් ඔවුන් පසුබට නොවේ...
ඔවුන් නුඹව කෙදිනක වත් නුඹව, නුඹ ගැන මදිකමක් පිළිබඳ සිතිවිලි වලින් වෙලන්නේ ද නැත... ඔවුන්ට නුඹ ආතුල්‍යයි, විශේෂයි, සුන්දරයි...
ඔවුන් ඉදිරියේ නුඹට නිසල බව මිස පීඩනයක්, ඊර්ෂ්‍යාවක් හෝ තරගයක් නැත. නුඹට නුඹ විය හැක්කේ ඔවුන් නුඹේ තත්‍යතාවයට ඇළුම් කරන නිසාවෙනි...
නුඹ, එදිනෙදා හමුවන සැලකිය නොයුතු ගීතයක්, මතකයක්, සටහනක් සිතේ නිධන් කොට රැක ගනීවී...
ජීවිතයේ වර්ණ විචිත්‍රවත් වේවි... පෙර නොවිරු ලෙස සිනහව නුඹගේ ජීවිතයේ කොටසක් වේවි...
වෙහෙසකාරී දිගු දිනයක ලැබෙන දුරකතන ඇමතුම නුඹට සහනයක් ගෙන දේවී... ඔවුන් අසල සිටින විට නොකැඩී ඇදෙන කතාව නොව නිසල බව සහනයක් වේවි... ඔවුන් ආසා කරන දෑ නුඹටත් ප්‍රීතියක් ගෙනදේවි...
ජීවිතයේ සෑම මොහොතකම ඔවුන්ගේ නුඹේ සිහියට එන්නේ නොදැනුවත්වම ය...
නුඹ, නුඹේ හදවත ඔවුන් කෙරේ පිරිනමන්නේ යම් දිනක නුඹට හඬන්නට වන බව දැන දනත් ඒ සා ආදරයක් නැවත නොලැබෙන බව දන්නා නිසාවෙනි...
නුඹේ සහනය වන්නේ... නුඹට සාදා හිතැති මිතුරෙකු/ මිතුරියක, ආත්මීය සහකරුවෙකු/ සහකාරියක ලැබෙනවා යන සිතුවිල්ලකි...
ජීවිතය පෙර නොවිරූ ලෙස වෙනස් වී ඇති බවක්, උද්දීපනයක් හා සෑම දෙයකම පලක් ඇති බවක් නුඹට වැටහේවී....
නුඹේ එකම ප්‍රාර්ථනය ද ස්ථිරත්වය ද ඔවුන් නුඹේ ජීවිතයේ කොටසක් වී සිටීමය...
Sunday, October 20, 2013
මිලේච්ඡයෝ එනතුරු
මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ
*******************************************************************
.
කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞරවන්විත වී නොමැත. "මම දන්නවා, අපි හැමෝම මිනිස්සු. ගෑනියෙක් නිසා ඕනම මිනිහෙක් මෝඩකම් කරන්න පුළුවන්" යැයි ඔවුනට හැකි වී නම් ඔවුන් මට කියනවා ඇත.
*******************************************************************
ආදරේක පැටලෙන මෝඩයෙකුට හැමෝම හිනා වෙනව, ඒත් හැමවෙලේම අන්තිමට එයාට සමාව ලැබෙනවා
*******************************************************************
ඔයාට තේරෙන්නේ නෑ. මම රළු ලෙස කියමි. ඇය සිය උරහිස් හකුලවයි. මම නොනැවතී කියාගෙන යමි.කථාවේ සම්පූර්ණ පැත්තක්ම ඔයා දන්නෙ නෑ. ඒක එයා දැනන් හිටියෙත් නෑ. ඒ නිසා එයාට ඒක ඔයාට කියන්න පුළුවන්කමක් තියෙන්න විදිහකුත් නෑ.දැන් මට ඒක ගැන කතා කරන්න වුවමනාවකුත් නෑ.
*******************************************************************
"ආයුබෝවන්" මම කියමි
"ආයුබෝවන්" ඇය කියයි
මගේ මෙන්ම ඇගේ ස්වරයේ ද ජීවමය බවක් නොමැත.
Sunday, August 18, 2013
අර්ථය සෙවීම
ආදරය යනු,
අසම්පූර්ණ මිනිසෙකු
සමඟ ඇතිවන
කොන්දේසි විරහිත බැඳීමකි...
ආදරය කිරීම යනු
යම් ප්‍රබල හැඟීමක් නොව
එක් අධිෂ්ඨානයකි...
තීරණයකි.
පොරොන්දුවකි...
Wednesday, June 12, 2013
වෙඩින් Talk...
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..
කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි...
සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...
සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ?
මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...
හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ, මේකප් වැඩී නේද?
දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ! ෆොටෝස් ටික හරි නැති වෙයි...
අයියෝ! බෑන්ඩ් එක හරි සද්දයි! මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..
වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...
කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ.
සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බා
කපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...
දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...
සවුත්තු වෙඩින් එකක්...
Wednesday, April 24, 2013
රාත්‍රී ආහාරය....
"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."
හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි.
" ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ? "
ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ??
ඔහුට සිතේ.
ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න... ඔහු ආයාචනා කරයි.
"ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ? ඇය ඔහුගේ ඇඟට කඩා පනි. "
"ඕනේ මඟුලක්, මට මහන්සි! මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."
ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.
උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.
ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.
මම කෑ ගහපු එක හරි නෑ, පව්! එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.
කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...
ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය.
"සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි.
"අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ...."
"නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ.... මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි..."
"ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද??"
" හ්ම්.... "
Tuesday, March 19, 2013
විසකුරු තුර ( A Poison Tree)
මා සබඳ හා මා උරණ වී
මගේ ද්වේශය උන් හට කීයෙන්
නිමා කලෙමි මම
මා උන් කෙරේ වූ ද්වේශය...
ඒ නමුදු...
මගේ රුපු කෙරේ
ඇති ද්වේශය මා තුල
ගොඩ නැඟෙන්නට විය
නොපල හැඟුමක් ලෙසට...
රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට
අළුයම මගේ කඳුළු දිය කොට
වත් කෙරුයෙමි මාගේ ද්වේශයට
ප්රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්
සෞම්‍ය ප්රයෝගයන් දැවටාලූ...
දිවා රෑ දළු ලියලා වැඩින
මා ද්වේශය
ඵල දරා ලෝහිත වර්ණයෙන්
මා රුපු දකින ලද
ඔහු එය මගේ බව හැඳින...
රහසේ පියමන් කොට
උන්
අහස රාත්‍රී වේලයෙන් වැසී ගත් යම
අහෝ මා දුටිමි තුටින්
මගේ රුපු වැතිරී සිටි අන්දම
මාගේ තුර යට...
A Poison Tree by William Blake
Friday, February 8, 2013
මිෂන් හොට්ටා
ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය. ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ ඉඳන් මුකුළු කරනවා බටුවා දැක ඇත.
මගේ වයස තාම අවුරුදු වලින් 5යි මාස 2ක් උනාට මේ මොන්ටිසෝරියේ, "සුදු බබා" කිව්වාම නොදන්න කොනෙක් ඉන්නවා කියන්න බැරිය.
අපේ අම්මාගේ හුරතල් එකා වෙච්ච මට ගෙදර කවුරුත් කිව්වේ ඒ නමය. මොන්ටිසෝරියේ ලොකු ටීචර් අපේ අම්මාගේ හොඳ යාළුවෙක් වෙච්ච හින්දා මොන්ටිසෝරියේ දීත් මම සුදු බබා ම වුනේ හේෂාන් මලිත් පොත් වලට විතරක් ඉතුරු කරලාය. ලොකු ගැන්සිය මුල් කාලේදී සුදු හොට්ටා කියලා කචල් එක දැම්මත්, දෙන්නෙක් ලේ එන්න කොනිත්තලා එකෙක්ට තුවාල වෙන්න ගැහුවට පස්සේ මොන්ටිසෝරියේ චන්ඩියා පට්ටම මට ගන්නට පුළුවන් වුනා. කොච්චර දඟ කරත් ලොකු ටීචර් ගේ ශේප් කිරීමත් පොඩි ටීචර්ලා දෙන්න එක්ක හුරතල් වෙන්ඩ වග බලාගත්ත නිසා කණ්ඩායම් නායක පට්ටමත් දා ගන්ඩ මාසයක් වත් ගියේ නෑ.
අරයා මොන්ටිසෝරියට ආවේ මේ දවස් වලය. චූටි රෝස ගවුමක් ඇඳලා, පොල් ගහක් වගේ කොන්ඩේ බැඳලා.. රෝස ලේන්සුවක් ගහලා අම්මා අතේ එල්ලිලා අඬ අඬා පන්තියට ආවා මට මතකය. එයාගේ නම සෙනුරී ලූ. මට නන් පෙනුනේ මගේ පියරු බබී ව ය. කණ්ඩායම් නායකයා විදිහට මම පෙරට ගියේ මේ කෙල්ල කවුරුවත් දා ගන්න කලින් මම ලඟින් ඉන්දවා ගන්න ය. එන්න සෙනුරී... මම මගේ අයියාගේ බර කටහඬ දාලා ඒකී ට කතා කරා. මම සුදු බබා... ඈ හින් හිනාවක් දාලා මගේ දිහා බැලුවාම මට බෙන් 10 වීරයා වගේ හිතුනා...
ඉතින් මම මගේ පියරු බබී එක්ක සිංදු කිව්වා, පොඩි ටීචර් ගේ කතා අහුවා, චිත්‍ර ඇන්දා, අපි දෙන්නා ගැන මොන්ටිසෝරියම දැනගෙන හිටියා. ඒකි හැඩ උනත්, එකෙක්වත් ඒකිට ඔන්චිලි පදින්න තියා වැලි කෝම්පිට්ටු හදන්නවත් එන්න කිව්වේ නැත්තේ මම ගැන දන්න නිසාය. අපි දෙන්නා එකට සෙල්ලන් කරන වෙලාවට පොඩි ටීචර්ලා අනේ හරි කියුට්! කියන කොට මම මගේ ෆුල් හිනා පාර දාන්නේ, ලොකු ආඩම්බරයකින්..
මේ අස්සේ මගේ බර්ත්ඩේ එකත් ආවා. මොන්ටිසෝරියේ කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගේ හරි බර්ත්ඩේ එක දවසට මල් පොකුරක් උන්ගේ ෆිට් එක විසින් දෙන්න මොන්ට්සෝරි සිරිතක් තියෙනවා... ඉතින් මගේ ෆිට් එකෙන් මට මල් පොකුරකුයි තොත්තුවකු යි ලැබෙන දවසේ මම හැන්ඩියා වගේ අම්ම අළුතින් අරන් දුන්න සුපර්මෑන් ටී ෂර්ට් එක ගහලා ලයිට් පත්තුවෙන සපත්තු දාලා ගියා.
අයියෝ! මගේ කරුමෙට ඒකි එදා උදේ සෙල්ලන් කරන්න ගිහින් මඩේ වැටිලා ඒකිගේ ලස්සන ගවුම ජරා කරගත්තා... පස්සේ අපේ අම්මා ෆොටෝ කැතවෙයි කියලා මගේ ෆුල් විරෝධය මැද්දේ කොන්ඩේ දිග හිරුනිට කිව්වා මල් ටික දෙන්න කියලා.. මම ඒකිට කැමතිත් නෑ, ඒකි හරි නපුරි, කොල්ලොන්ව කොනිත්තනවා, ඒ කරලා අපේ එකෙක් ගැහුවොත් හූ තියලා අඬනවා!! මෝඩි!!
මේක නිසා අරයා මගෙත් එක්ක තරහා වෙලා හිටියේ. මම අල්ලන් සෙල්ලම් කරන්න එන්න කිව්වම ආවෙත් නෑ. මගෙ අළුත් තුවක්කුව බැලුවෙත් නෑ, එක මට මාමා අරන් දුන්නේ, හෙන ලොකුයි. උස්සගන්නෙත් අමාරුවෙන්! මොන්ටිසෝරියේ එවුන් ඔක්කොම වට වෙලා බැලුවත් මේකි නෙවේ ආවේ..
මම ගනන් ගත්තෙත් නෑ. මම මොන්ටිසෝරිය රන් කරන්නේ කොහොමද, මෙයාගේ පස්සෙන් ගියොත්. ඔහොම ඉන්නකොට තමා බටුවා ඇවිත් කතාව කිව්වේ.
ඌ අළුතෙන් ආපු එකෙක්, මෝඩ හරකා! මගෙ කෙල්ලට බැල්ම දාන්න.. මම මගේ ගැන්සිය රැස් කරා... අර කොල්ලට වැඩක් දෙන්න ඕනේ. උබලා ඌව එක්කගෙන එනවා පොකුන ගාවට, මම දෙන්නම් වැඩක්!
උන් ටික හොට්ටාව එක්කගෙන ආවා...
තමුන් දන්නවා ද සෙනුරී මගේ කෙල්ල.. උබට ඒකිත් එක්ක කතා නෑ... එහෙම කොහොමද එයා මගෙත් එක්ක යාළුයි! ඌ මට පාර්ට් එක දාගෙන ආවා...
මගේ හිතේ ඉන්න බෙන්10 නලියන්න ගත්තා එකසිය ගානට.
මම ගත්ත ගමන් ඌව පොකුනට තල්ලු කරා...
ටීචර් මෙන්න... අමල් මාළු අල්ලන්න ගිහින් පොකුණට වැටුනා කියලා මම කෑ ගැහුවේ වෙච්ච දේ ටීචර් ට කිව්වොත් බෑග් එකට පනුවෝ දානවා කියලා ඌව බය කරන ගමන්( ඌ පනුවන්ට බයයි )
වැඩේ ෆුල් ක්ලොස්!
මම අරකිගේ ලොකු වෙච්ච ඇස් දිහා බලාගෙන පන්තිය ඇතුලට ගියා. ඒකි හෙට මට කථා කරයි.
Wednesday, January 9, 2013
තාවකාලික හමුවීම
එන්න…
අපි හමුවෙමු
අපි හමුවෙමු
යලි යලිදු මේ සොදුරු නවාතැන් පලේ…
ලැගුම් ගමු
අපි
තාවකාලික හමුවීමක සුවය අත්විද ගැනුමට..
ඉඩහසර ලබා ගමු
අපි මේ තාවකාලික හමුවීම රසවත් කර ගැනුමට,
ඔබද මා ද එක්ව අපේම වූ ලොවක තනිවෙමු.
උනුන් දෙස බලා සැනසෙමු
හිනැහෙමු
ස්නේහයෙන්…
උදාවන එක් අලුත් අලුයමක
වෙන්ව යමු
අපි
නැවත නොහදුනන්නන් ලෙස වෙස් ගෙන…
කිමද සෝ සුසුම්,
කුමටද විරහ වේදනාවන්…
නුඹ නොමැති මගේ ලොවට මම යන්නෙමි තුටින්..
අපි අපේ කරගත් ඒ කාලයක සිහිවටන මම දමා යන්නෙමි මේ තාවකාලික නවාතැන තුලම…
ඉදින් එන්න
රදවා සිනාවක් මුවග,
එන්න නොපැකිලව මේ සොදුරු නවාතැනට…
අපි තුටින් අරඹන අපේ තාවකාලික හමුවීමට…
Thursday, December 20, 2012
දෙසැම්බර් විසි එකට ලියමි
ආදරණිය දෙසැම්බර් විසි එක,
නුඹගේ එළැඹීම නතර කරන්නට මට නොහැකිය. නුඹ ලෝක අවසානය අරන් එනවාද කියා මම දන්නේද නැත. එ නමුත් මම නුඹ නිසා කලබල වන්නේද නැත.
මේ ලැබුනු ජීවිතය තුළ, මම මිනිස් හැසිරීම් රටා ප්‍රගුන කලෙමි. ඇවිදින්නට ගොස් වැටි වැටි ඇවිද පසුව නොවැටී ඇවිදීමට උගත්තෙමි.
අකුරු කියවන්න, ලියන්න ඉගෙන ගතිමි. ලියූ විභාග සමත් මෙන්ම අසමත් වී ද ඇත්තෙමි.
කථා කරන්නට, වදන් හසුරුවන්න ද, කියූ වදන් හඳුනා ගන්නද උගත්තෙමි. ඇසූ වදන් නිසා, හිත සතුටු මෙන්ම දුක් වන්නටද, අන් අය මගේ වදන් තුලින් සතුටු කරන්නද ශෝක කරවන්නද උගත්තෙමි.
හැඟුමන් වල දිග පළල හැඳින්නෙමි. සතුට, දුක, තරහාව, පාළුව හැදින්නෙමි. ආදරය ලබා දෙන්නත්, ලබා ගන්නත් උගත්තෙමි. ආදරය ලැබුනු විට සතුටු වන්නටද නොලැබුනු කළ ඉකි ගසා හඬන්නටද පුරුදු වුනෙමි.
ලෝකයා තුල කරුණාව, දයාව, ආදරය, සමඟිය සේම වෛරය, ක්‍රෝධය, තරහාව, භේදය ද ඇති බවට අත්දැකීම් ලැබුවෙමි.
සරල චින්තනයෙන් යුතු ළදරුවෙකු ගේ සිට සංකීර්ණ සන්ජානනයක් ඇති වැඩිහිටියෙකු දක්වා මම ගතින් හා සිතින් වැඩී ඇත්තෙමි.
මා ලැබූ ගුරුහරුකම්, අත්දැකීම් බොහෝය. මම ජීවිතය විඳවා මෙන්ම විඳ ඇත්තෙමි. ඉඳින් නුඹ ආවා නැතා කියා මට ප්‍රශ්නයක් නොමැත. ජීවිතය පෙර සේම ගත වනවා/නොවනවා නිසැකය.
මීට
ඔබ එන තුරු බලා (නො ) හිඳින
මම
Saturday, November 10, 2012
How Do I Love Thee
මා නුඹ හට කෙසේ ආලය කරන්නද?
මම නුඹ හට ආලය කරන්නේ කෙසේද...
මගේ ආත්මයට යා හැකි දුරක්, ගැඹුරක්, ආයාමයක් වෙත් නම්,
පැවැත්මේ අගක් වෙත් නම්, කරුණාවේ නිමක් වෙත් නම්,
මිනිසාගේ දිනයට හිරු ගේ එලියේ උවමනාවේ පමණට,
මම නුඹට නිදහසේ ආලය කරමි
මිනිසා තම අයිතින් තකා වෙහෙසෙන පමණට,
පැසසුමේ පිවිතුරු බව ගැබ් වූ ලෙස,
සරාගීත්වයෙන් ඔප ගන්වා,
මගේ පැරණි කම්පාවන් හා කුඩා කළ භක්තියද,
මා දමා ගියා වූ ප්‍රේමයන් ගේ බලයද ද එක් කොට,
මාගේ හුස්ම පොද, සිනහාවද, කඳුළ ද, මාගේ මුළු දිවියමද එක් කොට
මාගේ දෙවියන් ඉඩ දුන හොත් මරණයෙන් මතුවද
මම නුඹට වඩාත් ආලය කරමි.
Translation of 'How Do I Love Thee’ by Elizabeth Barrett Browning
Thursday, November 1, 2012
ඕවර් ටයිම් භාවනාව...
ටික්...ටික්...
ඔරලෝසුව සෙමින් සෙමින් තම ගමනේ යමින් මගේ ජීවිතයේ තත්පර,මිනිත්තු,හෝරාවන් ගණනය කරමින් සිටී. වේලාව දහවල දොලහේ කණිසම වැදී හෝරා හතක් පසුව ගොස් ඇත. නිවසට යාමට නියමිත ව තිබූ කාලය පසුවී ඒකේ කෑලිත් නැතිව ගොස් ඇත. වැඩ කන්දරාව ඔරලෝසුවත් එක්ක කිසිම ඇයි හොදයියක් නැති බව මට දැනී දැන් ගොඩක් කාලයක් ගතව ගොස් ඇත.
ගෙදර ගෑනි මම එනකන් ඇහැරගෙන ඉන්නවා ඇති.
පව්!
ඒකී මට ගොඩක් ආදරෙයි, කවදාවත් පරක්කු වීම ගැන වචනයක් වත් නොකියා," අද ගොඩක් වැඩ නේද? ඉන්න මම තුවාය අරන් එන්නම් ඔයා wash එකක් දාගෙන එන්න" කියමින් මට උපේක්ශා සහගත බැල්මක් දමයි.ඒ ඒකිගේ හෙටවත් කලින් එන්න කියන නිහඬ ආයචනය යි.
හ්ම්..
මම සුසුමක් හෙලුවෙමි. මේ ටික අද වෙනකොට ඉවර කරේ නැත්තම් හෙට ලොක්කා මට ** අරිනවා සිකුරුය. මගේ නේවසික cubicle හිමියාගේ සින්දුව මේ වෙලාවට හොඳටම ඔබිනේය.
ඔහු ලොක්කාගේ කාමරේ මීටිමකට ගොස් එලියට පැමිනි හැම දිනකම
"ලොක්කාට පු* දීලා ඉවර නොමැත දෙවියනේ... කුමටද මම Assistant වී ඉපදුනේ" යැයි තාලයට ගායනා කරන්නේ අනිත් එවුන්ගේ මැඬ ගත් සිනා හඬ මැද්දේය.
අවුරුදු ගණන් experience ගොනුවට එකතු කරමින් මේ කොම්පැනියට ආ දවසේ සිට interview එකේදී දුන්න කැරට් පොදියට අසුවී, ප්‍රමෝෂන් කට්ටක් අද ලැබෙයි හෙට ලැබෙයි හිතාගෙන ලොක්කගේ අලි සීන් ඔක්කොම විඳ දරාගෙන ඉන්නේ මොන මගුලකට ද කියල මට වෙලාවකට හිතෙනවා.
ඒ වුනත්... දැන් මම රවුම් ගහන, යාළුවෝ එක්ක හවසට සෙට් වෙන, කරටි කැඩෙන්න ගහන ඒ සරල ජීවිතයෙන් ගොඩක් ඈතයි. පඩිය අතට ගත්තාම අර බිල්, මේ බිල්, කෑම අරක මේක සියල්ල ඔළුවට එයි. "මචං, උඹ අද සෙට් වෙන්න එනවාද?" යන පැනයට, "නෑ! බං අද බෑ!" කියලා මාරු වෙන්න මගේ සිස්ටම් එක සකස් වී ඇත.
අයියෝ සැලරි! තමා. ඉගෙනගෙන කට්ට කාලා, ජොබ් එකක් හොයාගෙන ෆුල් එකේ ඉන්න හීන දැකපු මම දැන් මේ මාසේ පඩිය කරගන්න දහ අතේ කල්පනා කරනවා.
කසාද බැන්දා වගේ නෙවෙයි, ගෑනීට කන්න දෙන්නත් එපැයි. මෙහෙම ගියොත් මම කොයි වෙලේවත් ගෙදර නෑ කියලා සමහර වෙලාවට ඒකිත් මාව දාලා යයි. මරු family life එක!!
හ්ම්..
මේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න ඕනේ ඉක්මනට. Weekend එකේ එයාව කොහේ හරි එකක් අරන් යන්න ඕනේ...
Tuesday, October 2, 2012
ත්‍යාගයය
ප්‍රිය වල්ලභය, මේ බලන්න
මා නුඹට මාව ලබා දෙන්නෙමි.
මාගේ වදන් කුඩා බඳු වැනිය
නුඹට ගෙන රඳවා තැබීමට
රුවට රාක්කයක් මත
ඒවා හැඩැතිය, චමත්කාරජනකය
කාන්තිමත් වර්ණයන්ගෙන් අලංකාරය
ඔවුන්ගේ සුවඳින් නුඹ කුටිය පුරවාලනු ඇත.
කුසුම් හා තණ පත් වලවල මාධුර්ය
මාගේ අවසාන වදනද නුඹට පුදන්නෙමි දිනෙක
නුඹ සතු වනු ඇත මා සම්පූර්ණව එදින
නමුත් ඒ මාගේ අවසාන හුස්මද වනු ඇත
A Gift by Amy Lowell
Subscribe to:
Posts (Atom)


















