Saturday, April 30, 2016

තක්කඩිකමක මහත


මම හොඳටම නපුරු වී ඇත. හොඳට නපුරු වන්නේ කොහොමදැයි අසන ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට අකැමති බැවින්, මම නරකට නපුරු වී ඇතැයි පවසමි. එවිට ඔබ පවසනුයේ නරකට නපුරු වන එක හොඳ බවය. වචන විජ්ජාකාරයෝ. මම මගේ ජීවිතේ එක්ක තරහින්ම පසුවන්නියක්මි. නිදහසේ උස යන ගස් වැල් එක්ක අන්ධකාරය ආණ්ඩුමාට්ටු කරන ඉර එක්ක, නිස්කාසුවට හිරිහැර කරන හඳ එක්ක තරහා වී අවසන්ය.

මට වැඩිපුරම තරහා ඇත්තේ මගේ නාසය සමඟය. මම කණ්ණාඩිය අබියසට පිවිසෙමි. තුණු සිරුර නරඹමි. කුදු බව පසක් කර ගමි. පැටි කල පටන්ම මා මට ආදරේ කල බව මතක ය. මුසාවාදා කුමට ද? මට අවශ්ය්ය වූයේ මං ම වීමට ය. එ පමණෙකි. එ නමුත් දැන් මා මං වීමට ඉතිහාසයක් පුරා වෙර දැරූ 'මං' සමඟ තරහින්ය. මා තවමත් රූපයෙන් අනූන බව මට දැනුනහොත්  මා තුල කේන්තිය ඇවිස්සෙයි. මා තවමත් තාරුණ්යය යෙන් ආඪ්යය බව දැනුනහොත් ඒ කේන්තිය තීව්‍ර කරෙයි. ඉදින් මම තනියම දෛනිකව තට්ට තනියම කේන්තිය සමරමි. මගේ පරම අභිලාශය ජීවිතය අහවර වන තුරුම මගෙන් ම පළිගැනීම පමණි.

ආදරය හරිම අහිංසක යැයි කියන්නේ කවුරුන්ද? ඇත්තටම නම්, ආදරය අසීමාන්තික ලෙස නපුරුය. ඒත් සියල්ලන්ම එසේ නොකීමට වග බලා ගනිති. එසේ නොකිරීමට නො වේ.

******************************

ඇතැම් විට-ඇතැම් විට යැයි කීවාට බොහෝ විට- මම අවදි වී, අවදි නො වුවා සේ හිඳිමි. අවදි වන්නේ කුමකටද? ඒත් ඒ හීනයන් බව අතටම හසුවූ කල, අඬන්නට හිතෙන එක අසාමාන්ය ය රෝගී තත්වයක් ද? ඒත් මම නොහඬමි. මම 'සතුටින් සිටිමි'යි සිතමි. ඇතැම් විට වේදනාවම සතුටක් නොවන්නේද? ඔව්... ඇතැම් විට... ඇතැම් විට ඔබ මට ආදරේදැයි සැක සිතෙයි. එය පුංචි, ඉතා කුඩා, ඉතා දරුණු සැකයෙකි. එහි ඉතා කුඩා ගුණාකාරය කුමක්දැයි හිතෙන එකම විස්මයජනක අමන්දානන්දයකි. ඔබ මට ආදරේ කරතැයි මට හිතෙන විට මගේ අත පය , පණ නැතිවී හිරි වැටී යයි. සහළවා උණෙන් හෙම්බත් ව යන්නා සේ සිරුර වෙව්ලයි. ඒ සා  විසල් ආශ්චර්ය්යයක් කොහොම ඉවසා වදාරන්න ද?

ඉදින් නම් අවම වශයෙන් මම ඉකිබිඳින්නෙම් වෙමි. එය උගුරට ඇසෙන්නේ නැත. ඒ ඉකිබිඳිල්ල කටහඬට පවා නෑසෙන්නට ය. දැන් ඉතින් ටිකක් වත් අඬනවා නම් ඇස් දෙකට පවා නො දැනෙන්නට ය.

කාට නො තේරුනේ වුව 'මම' යන ප්‍රාණයේ තේරුම, ඈත ගහක්, ගලක්, තේරුම් ගෙන ඇතැයි මම සිතමි. තේරුමක් නැති සිතිවිල්ලක් යැයි නොකියන්න, අසමාන, අසමබර, අසීලාචාර, නොගැලපෙන ශරීර කූඩු දෙකක් ඇතුළත, ටක්කෙට ම සමපාත වන හදවත් දෙකක පිහිටා තිබීම ඔබ විග්‍රහ කරන්නේ කොහොමද? එය දැක දැකත් නොදැක්කා සේ සිටීමට හා එය දැන දැනත් නොදැනුනා සේ සිටීමට ඒ හදවත් වලට හැකි බව ඔබ සිතන්නේ ද? උත්තරය 'ඔව්' නම් ඉන් ගම්යය වන්නේ තක්කඩිකමක මහත ය. ඔබ නම් සුපිරි තක්කඩියෙකි. අසම සම තක්කඩියෙකි. අසමජ්ජාති තක්කඩියෙකි. මහ ම මහ තක්කඩියෙකි.

මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන. (පිටු 55-57)

1 comment:

  1. අකුරු වලින් වෙඩි තියන්නා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...