Friday, February 8, 2013

මිෂන් හොට්ටා



ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය. ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ  ඉඳන් මුකුළු කරනවා බටුවා දැක ඇත.

මගේ වයස තාම අවුරුදු වලින් 5යි මාස 2ක් උනාට මේ මොන්ටිසෝරියේ, "සුදු බබා" කිව්වාම නොදන්න කොනෙක් ඉන්නවා කියන්න බැරිය.

අපේ අම්මාගේ හුරතල් එකා වෙච්ච මට ගෙදර කවුරුත් කිව්වේ ඒ නමය. මොන්ටිසෝරියේ ලොකු ටීචර් අපේ අම්මාගේ හොඳ යාළුවෙක් වෙච්ච හින්දා මොන්ටිසෝරියේ දීත් මම සුදු බබා ම වුනේ හේෂාන් මලිත් පොත් වලට විතරක් ඉතුරු කරලාය. ලොකු ගැන්සිය මුල් කාලේදී සුදු හොට්ටා කියලා කචල් එක දැම්මත්, දෙන්නෙක් ලේ එන්න කොනිත්තලා එකෙක්ට තුවාල වෙන්න ගැහුවට පස්සේ මොන්ටිසෝරියේ චන්ඩියා පට්ටම මට ගන්නට පුළුවන් වුනා. කොච්චර දඟ කරත් ලොකු ටීචර් ගේ ශේප් කිරීමත් පොඩි ටීචර්ලා දෙන්න එක්ක හුරතල් වෙන්ඩ වග බලාගත්ත නිසා කණ්ඩායම් නායක පට්ටමත් දා ගන්ඩ මාසයක් වත් ගියේ නෑ.

අරයා මොන්ටිසෝරියට ආවේ මේ දවස් වලය. චූටි රෝස ගවුමක් ඇඳලා, පොල් ගහක් වගේ කොන්ඩේ බැඳලා.. රෝස ලේන්සුවක් ගහලා අම්මා අතේ එල්ලිලා අඬ අඬා පන්තියට ආවා මට මතකය. එයාගේ නම සෙනුරී ලූ. මට නන් පෙනුනේ මගේ පියරු බබී ව ය. කණ්ඩායම් නායකයා විදිහට මම පෙරට ගියේ මේ කෙල්ල කවුරුවත් දා ගන්න කලින් මම ලඟින් ඉන්දවා ගන්න ය. එන්න සෙනුරී... මම මගේ අයියාගේ බර කටහඬ දාලා ඒකී ට කතා කරා. මම සුදු බබා... ඈ හින් හිනාවක් දාලා මගේ දිහා බැලුවාම මට බෙන් 10 වීරයා වගේ හිතුනා...


ඉතින් මම මගේ පියරු බබී එක්ක සිංදු කිව්වා, පොඩි ටීචර් ගේ කතා අහුවා, චිත්‍ර ඇන්දා, අපි දෙන්නා ගැන මොන්ටිසෝරියම දැනගෙන හිටියා. ඒකි හැඩ උනත්, එකෙක්වත් ඒකිට ඔන්චිලි පදින්න තියා වැලි කෝම්පිට්ටු හදන්නවත් එන්න කිව්වේ නැත්තේ මම ගැන දන්න නිසාය. අපි දෙන්නා එකට සෙල්ලන් කරන වෙලාවට පොඩි ටීචර්ලා අනේ හරි කියුට්! කියන කොට මම මගේ ෆුල් හිනා පාර දාන්නේ, ලොකු ආඩම්බරයකින්..


මේ අස්සේ මගේ බර්ත්ඩේ එකත් ආවා. මොන්ටිසෝරියේ කොල්ලෙක්ගේ හරි කෙල්ලෙක්ගේ හරි බර්ත්ඩේ එක දවසට මල් පොකුරක් උන්ගේ ෆිට් එක විසින් දෙන්න මොන්ට්සෝරි සිරිතක් තියෙනවා... ඉතින් මගේ ෆිට් එකෙන් මට මල් පොකුරකුයි තොත්තුවකු යි ලැබෙන දවසේ මම හැන්ඩියා වගේ අම්ම අළුතින් අරන් දුන්න සුපර්මෑන් ටී ෂර්ට් එක ගහලා ලයිට් පත්තුවෙන සපත්තු දාලා ගියා. 

අයියෝ! මගේ කරුමෙට ඒකි එදා උදේ සෙල්ලන් කරන්න ගිහින් මඩේ වැටිලා ඒකිගේ ලස්සන ගවුම ජරා කරගත්තා... පස්සේ අපේ අම්මා ෆොටෝ කැතවෙයි කියලා මගේ ෆුල් විරෝධය මැද්දේ කොන්ඩේ දිග හිරුනිට කිව්වා මල් ටික දෙන්න කියලා.. මම ඒකිට කැමතිත් නෑ, ඒකි හරි නපුරි, කොල්ලොන්ව කොනිත්තනවා, ඒ කරලා අපේ එකෙක් ගැහුවොත් හූ තියලා අඬනවා!! මෝඩි!!

මේක නිසා අරයා මගෙත් එක්ක තරහා වෙලා හිටියේ. මම අල්ලන් සෙල්ලම් කරන්න එන්න කිව්වම ආවෙත් නෑ. මගෙ අළුත් තුවක්කුව බැලුවෙත් නෑ, එක මට මාමා අරන් දුන්නේ, හෙන ලොකුයි. උස්සගන්නෙත් අමාරුවෙන්! මොන්ටිසෝරියේ එවුන් ඔක්කොම වට වෙලා බැලුවත් මේකි නෙවේ ආවේ..

මම ගනන් ගත්තෙත් නෑ. මම මොන්ටිසෝරිය රන් කරන්නේ කොහොමද, මෙයාගේ පස්සෙන් ගියොත්. ඔහොම ඉන්නකොට තමා බටුවා ඇවිත් කතාව කිව්වේ.

 ඌ අළුතෙන් ආපු එකෙක්, මෝඩ හරකා! මගෙ කෙල්ලට බැල්ම දාන්න.. මම මගේ ගැන්සිය  රැස් කරා... අර කොල්ලට වැඩක් දෙන්න ඕනේ. උබලා ඌව එක්කගෙන එනවා පොකුන ගාවට, මම දෙන්නම් වැඩක්!
උන් ටික හොට්ටාව එක්කගෙන ආවා... 

තමුන් දන්නවා ද සෙනුරී මගේ කෙල්ල.. උබට ඒකිත් එක්ක කතා නෑ... එහෙම කොහොමද එයා මගෙත් එක්ක යාළුයි! ඌ මට පාර්ට් එක දාගෙන ආවා... 

මගේ හිතේ ඉන්න බෙන්10 නලියන්න ගත්තා එකසිය ගානට.

 මම ගත්ත ගමන් ඌව පොකුනට තල්ලු කරා...

ටීචර් මෙන්න... අමල් මාළු අල්ලන්න ගිහින් පොකුණට වැටුනා කියලා මම කෑ ගැහුවේ වෙච්ච දේ ටීචර් ට කිව්වොත් බෑග් එකට පනුවෝ දානවා කියලා ඌව බය කරන ගමන්( ඌ පනුවන්ට බයයි )

වැඩේ ෆුල් ක්ලොස්! 

මම අරකිගේ ලොකු වෙච්ච ඇස්  දිහා බලාගෙන පන්තිය ඇතුලට ගියා. ඒකි හෙට මට කථා කරයි.

7 comments:

  1. ඇත්තමයි ඔයා මෙහෙම කතා කොහොම ලියනවද මන්දා. අද ඊයේ ෆලොව් කරත් මුළු බ්ලොග් එකම මම කියෙවුවා. ඇත්තටම සිත්ගන්නා සුළු රටාවකට ලියනවා. කතාවේ මුල ඉදන් අගටම කතාවේ රසය අඩු නොවෙන්න ලියන්න පුළුවන් පුදුම හැකියාවක් තියෙනවා. ඇත්තටම ලස්සනයි. සර්ථක ලිවිමේ රටාවක්.

    ReplyDelete
  2. හේහ්.. මාර දඩුවමනෙ මොන්ඩිසෝරි වුණත්.. වයසෙ හැටියටද වැඩ.. :D :D

    අපේ අයියගෙ ආදර කතාව මතක්වුණා..

    ReplyDelete
  3. හික්ස්...
    නියමයි ඈ..

    ReplyDelete
  4. Niyanma Post 1ke ahh.. Keep Going ~ පාශා ~ Mallila..

    ReplyDelete
  5. මාරම ලස්සනයි කතාව.. පුංචි උනත් ආදරේ වෙනුවෙන් මොනවා කරන්න බැරිද එක අතකට බලන් යද්දී.. අපි හිතමු පහුවදා සෙනුරි කතා කරන්න ඇති කියලා..

    ReplyDelete
  6. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
  7. හායි යාලූ... අදයිආවෙ මේපැත්තට...
    ආසාවෙන් බලන් ඉන්නව ඉතිරි කොටස දානකම්....^_^

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...