Wednesday, September 26, 2012

තුන්වැන්නිය




"ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවා එහෙම නේද? "

මා දෙස කොලින් බලමින් යුකිකෝ ඇසුවා.

මම හිස වැනුවා.

ඇගේ වචන වල ස්ථිර හැඩයක් සහ බැරෑරුම් බවක් තිබුනා. මේ මොහොතට සූදානම් වෙන්න කොපමණ වරක් මේ වචන ටික ඇගේ මනස තුළ ගමන් කරන්නට ඇතිද?
"ඔයා එයාට ඇත්තටම කැමතියි. ඔයා නිකන් සෙල්ලමට කරන එකක් එහෙම නෙමෙයි"
ඔයා හරි මම කිව්වා. "ඒක නිකන් කොටු පැනිල්ලක් නෙමෙයි. ඒත් ඒක හරියටම ඔයා හිතාගෙන ඉන්න දේත් නෙමෙයි"

"මම මොනවද හිතන්නේ කියලා ඔයා කොහොමද දන්නේ ?" ඈ ඇසුවාය. " ඔයා ඇත්තටම විශ්වාස කරනවාද, මම හිතන දේ ඔයා දන්නවයි කියලා?"

මට කිසිදෙයක් කියාගන්න බැරි උනා. යුකිකෝ පවා නිහඬයි. සංගීතය සෙමින් වාදනය උනා. විවල්ඩි හෝ ටෙලිමාන්. ඒ දෙකෙන් එකක්. මට එහි තාලය මතක නැහැ.

"මම හිතන්නේ මොනවද කියන එක ගැන ඔයාට මෙලෝ අදහසක් නෑ මම හිතන්නේ," ඈ කිව්වා. ඈ කථා කලේ සෙමින්, හැම වචනයක් ම පැහැදිලිව උච්චාරණය කරමින්, හරියට ළමයෙකුට යමක් පහදා දෙන ආකාරයෙන්.

"මම හිතන්නේ නෑ ඔයාට ඒ ගැන කිසිම අදහසක් තියනවයි කියලා"

මම පිළිතුරු නොදෙන බව දැකීමෙන්, ඈ ඇගේ වීදුරුව ගෙන බිව්වා. ඉතාම හෙමින් ඈ ඇගේ හිස වැනුවා.

"මම එච්චරම මෝඩ නෑ, ඒක ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා. මම ජීවත් වෙන්නේ, නිදිය ගන්නේ ඔයත් එක්ක. ඔයා වෙන කෙනෙකුට කැමති බව ටික කාලෙක ඉඳන් මම දැනගෙන හිටියා."

මම නිහඬවම ඈ දෙස බැලුවා.

"මම ඔයාට වැරැද්දක් කියන්නේ නෑ". ඈ කියාගෙන ගියා. "ඔයා වෙන කෙනෙකුට ආදරේ නම්, කාටවත් කරන්න පුළුවන් මහ දෙයක් නෑ. ඔයා ආදරේ කරන්නේ ඔයා ආදරේ කෙනාට. මම ඔයාට මදි. මම ඒක දන්නවා. අපි දෙන්නා හොඳින් ජීවත් උනා, ඔයා මාව හොඳට බලා කියා ගත්තා. ඔයා එක්ක ජීවත් වෙන එක ගැන මම හිටියේ හරි සතුටින්. මම හිතනවා ඔයා මට තාමත් ආදරෙයි කියලා, ඒත් මම දැන් ඔයාට මදි කියන සත්‍යයෙන් අපිට ගැලවෙන්න බෑ. මම දැනගෙන හිටියා මේ ටික සිද්ධවෙයි කියාලා. ඒ හින්දා මම ඔයාට දොස් කියන්නේ නෑ. වෙන ගෑනියෙක් එක්ක ආදරෙන් බැදිච්ච එක ගැන, මම තරහත් නෑ. හරිනම් එහෙම වෙන්න ඕනේ. ඒත් මම තරහ නෑ. මට දැනෙන්නේ වේදනාවක්, ලොකු වේදනාවක්. මේකෙන් මට කොයිරතම් රිදෙයිද කියලා හිතාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ, ඒත් මම වැරදියි."

"මට සමාවෙන්න" මම කිව්ව.

"සමාවගන්න අවශ්‍යතාවක් මෙතන නෑ! ඈ කිව්වා. "ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒකට කාරි නෑ. මම මුකුත්ම කියන්නේ නෑ. ඔයාට මාව දාල යන්න ඕනද?"

"මම දන්නේ නෑ" මම පිලිතුරු දුන්නා. "මම ඔයාට පැහැදිලි කරලා දෙන්නද මොකක්ද උනේ කියලා"

"ඔයා කියන්නේ ඔයයි අර ගෑනියි ගැනද?"

"ඔව්" මම කිව්වා

ඈ දැඩි ලෙස හිස වැනුවා. " මට ඒකි ගැන කිසි දෙයක් අහන්න උවමනාවක් නෑ. මම මේ දැනටමත් විඳවන හරිය හොඳටම ඇති. මීටත් වඩා මට තවත් විඳවන්න තියන්න එපා.ඔය දෙන්නා අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියන එකවත්. ඔයාලා මොන සැලැස්මක් ගැහුවද කියන එකවත් මට වැඩක් නෑ, මට ඒ ගැන අහන්න ඕනෙත් නෑ. මට දැනගන්න ඕන දේ මෙච්චරයි. ඔයාට මාව දාලා යන්න ඕනද නැද්ද? මට මේ ගේත් එපා, සල්ලිවත් කිසිදෙයක් එපා. ඔයාට ළමයි දෙන්නා ඕන නම් ඒ දෙන්නාවත් ගන්න, මම මේ ඇත්තටමයි කියන්නේ ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒක කියන්න. මට දැනගන්න ඕනේ එච්චරයි. මට වෙන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ. ඔව් ද නැද් ද? එච්චරයි."

"මම දන්නෑ" මම කිව්වා.

"ඔයා කියන්නේ ඔයාට මාව දාල යන්න ඕනද නැද්ද කියන එක ගැන ඔය දන්නේ නෑ?"

"නෑ. ඔයාට උත්තරයක් දෙන්න තරම් මම සුදුස්සෙක්ද කියලාවත් මම දන්නෑ නෑ"

"කවද්ද ඔයා ඒක දැනගන්නේ?"
මමහිස වැනුවා

"හොඳයි එහෙනම් , කාලේ අරගෙන ඒ ගැන හිතලා බලන්න. ඈ සුසුම් හෙලුවාය. මට බලාගෙන ඉන්න පිළුවන් ඔයාට කැමති තරම් කාලයක් ඔයා අරගන්න. "


දකුණු මායිම- ඉන්දික ගුණවර්ධන
South of the border, west of the Sun  by Haruki Murakami

2 comments:

  1. මොනව හරි වැදගත් දෙයක් මේ අකුරු අතර තියෙන්න ඇති ඒත් මට ඒ මොකද්ද කියලා මීටර වුනේ නෑ....

    ReplyDelete
  2. සමහර විට තේරුමක් නැතුව ඇති. නමුත් පොතේ මේ කොටස මට ගොඩක් දැනුනා
    :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...