Wednesday, September 26, 2012

තුන්වැන්නිය




"ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවා එහෙම නේද? "

මා දෙස කොලින් බලමින් යුකිකෝ ඇසුවා.

මම හිස වැනුවා.

ඇගේ වචන වල ස්ථිර හැඩයක් සහ බැරෑරුම් බවක් තිබුනා. මේ මොහොතට සූදානම් වෙන්න කොපමණ වරක් මේ වචන ටික ඇගේ මනස තුළ ගමන් කරන්නට ඇතිද?
"ඔයා එයාට ඇත්තටම කැමතියි. ඔයා නිකන් සෙල්ලමට කරන එකක් එහෙම නෙමෙයි"
ඔයා හරි මම කිව්වා. "ඒක නිකන් කොටු පැනිල්ලක් නෙමෙයි. ඒත් ඒක හරියටම ඔයා හිතාගෙන ඉන්න දේත් නෙමෙයි"

"මම මොනවද හිතන්නේ කියලා ඔයා කොහොමද දන්නේ ?" ඈ ඇසුවාය. " ඔයා ඇත්තටම විශ්වාස කරනවාද, මම හිතන දේ ඔයා දන්නවයි කියලා?"

මට කිසිදෙයක් කියාගන්න බැරි උනා. යුකිකෝ පවා නිහඬයි. සංගීතය සෙමින් වාදනය උනා. විවල්ඩි හෝ ටෙලිමාන්. ඒ දෙකෙන් එකක්. මට එහි තාලය මතක නැහැ.

"මම හිතන්නේ මොනවද කියන එක ගැන ඔයාට මෙලෝ අදහසක් නෑ මම හිතන්නේ," ඈ කිව්වා. ඈ කථා කලේ සෙමින්, හැම වචනයක් ම පැහැදිලිව උච්චාරණය කරමින්, හරියට ළමයෙකුට යමක් පහදා දෙන ආකාරයෙන්.

"මම හිතන්නේ නෑ ඔයාට ඒ ගැන කිසිම අදහසක් තියනවයි කියලා"

මම පිළිතුරු නොදෙන බව දැකීමෙන්, ඈ ඇගේ වීදුරුව ගෙන බිව්වා. ඉතාම හෙමින් ඈ ඇගේ හිස වැනුවා.

"මම එච්චරම මෝඩ නෑ, ඒක ඔයා දන්නවා ඇති කියලා මම හිතනවා. මම ජීවත් වෙන්නේ, නිදිය ගන්නේ ඔයත් එක්ක. ඔයා වෙන කෙනෙකුට කැමති බව ටික කාලෙක ඉඳන් මම දැනගෙන හිටියා."

මම නිහඬවම ඈ දෙස බැලුවා.

"මම ඔයාට වැරැද්දක් කියන්නේ නෑ". ඈ කියාගෙන ගියා. "ඔයා වෙන කෙනෙකුට ආදරේ නම්, කාටවත් කරන්න පුළුවන් මහ දෙයක් නෑ. ඔයා ආදරේ කරන්නේ ඔයා ආදරේ කෙනාට. මම ඔයාට මදි. මම ඒක දන්නවා. අපි දෙන්නා හොඳින් ජීවත් උනා, ඔයා මාව හොඳට බලා කියා ගත්තා. ඔයා එක්ක ජීවත් වෙන එක ගැන මම හිටියේ හරි සතුටින්. මම හිතනවා ඔයා මට තාමත් ආදරෙයි කියලා, ඒත් මම දැන් ඔයාට මදි කියන සත්‍යයෙන් අපිට ගැලවෙන්න බෑ. මම දැනගෙන හිටියා මේ ටික සිද්ධවෙයි කියාලා. ඒ හින්දා මම ඔයාට දොස් කියන්නේ නෑ. වෙන ගෑනියෙක් එක්ක ආදරෙන් බැදිච්ච එක ගැන, මම තරහත් නෑ. හරිනම් එහෙම වෙන්න ඕනේ. ඒත් මම තරහ නෑ. මට දැනෙන්නේ වේදනාවක්, ලොකු වේදනාවක්. මේකෙන් මට කොයිරතම් රිදෙයිද කියලා හිතාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ, ඒත් මම වැරදියි."

"මට සමාවෙන්න" මම කිව්ව.

"සමාවගන්න අවශ්‍යතාවක් මෙතන නෑ! ඈ කිව්වා. "ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒකට කාරි නෑ. මම මුකුත්ම කියන්නේ නෑ. ඔයාට මාව දාල යන්න ඕනද?"

"මම දන්නේ නෑ" මම පිලිතුරු දුන්නා. "මම ඔයාට පැහැදිලි කරලා දෙන්නද මොකක්ද උනේ කියලා"

"ඔයා කියන්නේ ඔයයි අර ගෑනියි ගැනද?"

"ඔව්" මම කිව්වා

ඈ දැඩි ලෙස හිස වැනුවා. " මට ඒකි ගැන කිසි දෙයක් අහන්න උවමනාවක් නෑ. මම මේ දැනටමත් විඳවන හරිය හොඳටම ඇති. මීටත් වඩා මට තවත් විඳවන්න තියන්න එපා.ඔය දෙන්නා අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියන එකවත්. ඔයාලා මොන සැලැස්මක් ගැහුවද කියන එකවත් මට වැඩක් නෑ, මට ඒ ගැන අහන්න ඕනෙත් නෑ. මට දැනගන්න ඕන දේ මෙච්චරයි. ඔයාට මාව දාලා යන්න ඕනද නැද්ද? මට මේ ගේත් එපා, සල්ලිවත් කිසිදෙයක් එපා. ඔයාට ළමයි දෙන්නා ඕන නම් ඒ දෙන්නාවත් ගන්න, මම මේ ඇත්තටමයි කියන්නේ ඔයාට මාව දාලා යන්න ඕනේ නම් ඒක කියන්න. මට දැනගන්න ඕනේ එච්චරයි. මට වෙන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ. ඔව් ද නැද් ද? එච්චරයි."

"මම දන්නෑ" මම කිව්වා.

"ඔයා කියන්නේ ඔයාට මාව දාල යන්න ඕනද නැද්ද කියන එක ගැන ඔය දන්නේ නෑ?"

"නෑ. ඔයාට උත්තරයක් දෙන්න තරම් මම සුදුස්සෙක්ද කියලාවත් මම දන්නෑ නෑ"

"කවද්ද ඔයා ඒක දැනගන්නේ?"
මමහිස වැනුවා

"හොඳයි එහෙනම් , කාලේ අරගෙන ඒ ගැන හිතලා බලන්න. ඈ සුසුම් හෙලුවාය. මට බලාගෙන ඉන්න පිළුවන් ඔයාට කැමති තරම් කාලයක් ඔයා අරගන්න. "


දකුණු මායිම- ඉන්දික ගුණවර්ධන
South of the border, west of the Sun  by Haruki Murakami

Saturday, September 15, 2012

අවසන් මං නැවතුමට එපිටින්..




ඔවුහූ ඔහුගේ බිත්ති හුණු පිරියම් කරමින් සිටිති;
 ඔහුගේ බඩු බාහිරාදිය එළියට ඇද දමමින් සිටිති.
 අතීතයේ වූ සුපුරුදු කිසිවක් දැන් ඉතිරි වී නැත.

සදාකාලික කාලය විසින් ලුහු බැදිනු ලැබ නිවසෙන් පලා යන ඔහු තම ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලපරිච්ඡේදය ගත කළ තැනට කඩා වදී.

පසුපස පියගැට, තුන්වෙනි මහල,
දෙවැනි දොරකියවා ගැනීමට තරම් පැහැදිලි නැති නාම පුවරුව මත
 වියැකුනු නම,
 " විසි අවුරුද්දක් ගෙවිල ගිහින්- අනේ මාව ඇතුළට ගනනවාද! "

මහලු ගැහැනියක් දොර විවර කරයි. වසර ගණනාවක හුදෙකලාවකින් අනතුරුව වුවත් තමා මන්දෝත්සාහීව සිටීම ගැන ඈ විස්මයට පත්ව සිටී,දිගු කාලයක් තිස්සේ වර්ණයක් ගැන නොදන්නා තම දෙතොල් ඈ සපා ගනී. දිගු කාලයක් තිස්සේ අමතක කර දමා තිබුණු ඉරියව්වකින් ඈ සිය අපිරිසිදු කෙස් රෑන සකසා ගනී. බිත්තියේ එල්ලා ඇති පැරණි පෙම්වතුන්ගේ ඡායාරූප ඔහුගෙන් වසන් කිරීමට ඈ අශෝබන ලෙස අත් දිගු කරයි. මේ හෙලිදරව් වීම් තවදුරටත් ගැටලුවක් නොවන අතර සියල්ල යහපත් බව අනතුරුව ඇය තේරුම් ගනී.

විසි වසරකට පසු ඔබ යලිත් පැමිණ සිටී.
අවසාන වැදගත් හමුවීමමගේ ජීවිතයේ...........

ඔව්, සියල්ල යහපත් ය. මුහුණ මත ඇති  රැලි හෝ වැරහැලි වූ ඇදුම් හෝ කහ ගැසුණු දත් හෝ එල්ලා වැටෙන සම හෝ ලේ සිදුණු දෙතොල් හෝ තව දුරටත් ගැටලුවක් උද්ගත නොකරයි.

තිර බව
 ජීවිතයේ අවසන් සේම
 වඩාත් කාරුණික වූ තිළිණය.

ඉතින් ඔහු තම අත මේස දිගේ විඩාබර ලෙස අද්දමින් කාමරය හරහා යන අතර

ඔහුගේ දුබල වූ අත් වැස්
 පැරණි පෙම්වතුන්ගේ ඇගිලි සලකුණු
 මකා දමමින් තිබේ.

ඇයට බොහෝ මිනිසුන් හමුවි ඇති බව ඔහු වටහා ගනී.මේ පෙම්වතුන්  රැළ

ඇගේ සමේ වූ මාහැගි අලංකාරය මුලුමුනින්ම නාස්ති කර දැමූහ.

දීර්ඝ කාලයක් තිස්සේ අමතකව තිබුණ ගීයක් ඔහුගේ ආත්මය තුළ කැලතෙයි.දෙවියනි කුමක්ද ඒ ගීතය?

වැල්ලෙන් නිමවූ සයනය මත පාවී පාවී.......

ඔබ දිගින් දිගටම ඉබාගාතේ පාවි යමින් සිටී.අන්තිමේදී ඔබේ අරටුව, ඔබේම හදවතේ අරටුව හැරෙන්නට කිසිවක් ඉතිරි නොවේ.

තමාට පිරිනැමීම සදහා දැඩි වූත්,තුරුණු වූත් කිසිවක් ඔහු සන්තකයෙහි ද නොමැති බව ඇය වටහා ගනී. නමුත්

 දැන් මා වෙත පැමිණෙන
 මේ වෙහෙසකර අවස්තා,
සොබා දහමේ බිදින්නට නොහැකි සන්සුන්,පිරිසිදු ක්‍රියාදාමය උදෙසා වූ
 මේ ගිවිසුමේ,
මා ඔබට උරුම කරන මේ...... 

ශෝකයෙන් තැවෙන ඔවුන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු ස්පර්ශ කර ගනිති. ඔහු ඇයට "මගේ කෙල්ල" යනුවෙන් අමතයි. ඇය ඔහුට "මගේ කොල්ලා" යනුවෙන් අමතයි.ඉනික්බිති ඔවුහූ වැළපෙන්නට පටන් ගනිති.

අතරමැද කිසිවක් නොමැත.
හුවමාරු වන වදනක් හෝ බැල්මක් ද නොමැත.
 සගවන්නට කාලකණ්ණිකම- ඔහුගේ හෝ ඇයගේ.

ඔවුහූ දෙදෙනාගේ සමට යටින් නිසංසලේ ගුම් දෙන මරණයේ යන්ත්‍ර වලට සවන් දෙති. ඔවුන් සදාකාලිකව එකිනෙකා හට හිමි වී සිටින බව ඔවුනට වැටහෙයි. මේ ඔවුන්ගේ අවසාන වූත් මාහැගිම වූත් ආදරයි.

Life Is Elsewhere- by Milan Kundera 

Sunday, September 2, 2012

(අ) සුන්දර අවසානය







චුරු චුරු වැස්ස...

උදේ ඉඳන්ම එකදිගට නොනවත්වා හඬා වැටෙන අහස, මේ වැහි අඳුර, මගේ හිතත් වෙලාගෙන...

"අදත් මගේ පොත ඉවර කරන්න වෙන එකක් නෑ" ඔහුට සිතින.

"පොත ඉවර කරලා, පෲෆ් රීඩින් යවන්න ඕනේ" , ඔහු තමාට කිහිප වතාවක් මේ සතිය තුරාවට මතක් කර දුන්නත්... වැහි කළුවරත් එක්ක එන මූසල සිතිවිලි රාශිය ඔහුගේ සිත වෙලාගෙන, ඔහුගේ ධ්‍යානයන් බිඳහරින විට, ඔහුගේ කෙටි සටහන් වල, මාස ගනනක් තිස්සේ සකස් කොට සෑදූ කතා සැකිල්ලේ අගට එන සොඳුරු අවසන වෙනුවට කඳුළින් සැරසූ සෝ සුසුම් මැසිවූ අසුන්දර වූ අවසානයක් කරා යාමට ඔහුට සිත් දේ.

"මේ කථාව අපි ටිකක් සරල සුන්දර එකක් කරමු නේද?"

 ඔහුගේ ප්‍රකාශකයා, මීටිම අවසානයේ ඔහු හට පැවසීය. 

"දැන් කට්ටිය කැමති තමන්ගේ යථාර්තයෙන් මිදිලා ටිකක් විතර සරල සුන්දර ෆැන්ටසියක ජීවත් වෙන්න, පොතකින් හොයන්නෙත් ඒකම තමා. මිනිස්සු තමන්ගේ ජීවිත වල හිරවෙලා හෙම්බත් වෙලා ඉන්නේ... ඔයාට 'බෙස්ට් සෙලර් ලිස්ට්' එකේ ඉන්න ඔනේ නන් දැන්මම හිතා ගන්න මිනිස්සු සොඳුරු අවසාන වලට කැමතියි."

"බොහොම ස්තූතියි! මිස්ටර්". ඔහු යන්තම් හිස සලා සිනාසුනේය. 

පොත ලිස්ට් එකට යනවා දකින්නට ඔහුගේ කිසිම අකමැත්තක් නැත. ගැහැනු ළමයාට මතක ඇති කාලයකදී වටිනා යමක් අරගෙන දීලා ද නැත. පාර්ට් ටයිම් ජොබ් එකද ජීවිතයේ පැවැත්මට මිසක සැමරීමක් කරන්නට තරම් අත මිට සරු කරන්නේ ද නැත.

පවත්වාගෙන ආ කලාකරුවා වේසය අතහැරිය නොහැක. කලාකරුවාගෙන් කන්තෝරු කරුවෙකු බිහිවන්නේද නැත.  ජීවිතය ද එක තැනම කැරකෙන ගානය. ඔහුට සිතේ.

ලැප්ටොප් තිරය සුදුවට දිලේ... අහස  තවමත් අඳුරුය.  

ඇගේ හා ඔහුගේ ආදර කතාව රචකයා ඉදිරියේ දිස්වේ...


හැල හැප්පීම් මැද, කටුක ගමනක් ඔවුන්ව  ඔහු මේ දක්වා දුර රැගෙන ආවේය. ඔවුන් ඔහු සමඟ දිවා රෑ නොතකා තමන්ගේ ජීවිත කතාව හැඩගස්වන්නට එක් විය.

 වැරදුන අවස්ථාවන්, ඔවුන්ගේ 'එඩිට්' වුන හමුවීමන්, මතකයන්, සංවාද බොහෝය. 

ඔහු නිගමනයකට එළැඹීය. අද මම මේ කතාව ඉවර කරනවා, අද මම නුඹලාගේ අවසානය නිමා කරනවා. නමුත් එය අවසානයක් නොව තවත් කථාවක ආරම්ඹයක් වේවි.

නුඹලාගේ කථාව 'ලිස්ට්' එකට ගියොත් මම නුඹලාගේ දෙවෙනි කොටස ලියනවා...
අපි බලමු..

ඔහු කටු සටහන් පොතෙන් අවසනට ලියූ පිටුව ඉරා අළුතින් අකුරු සිත්තම් කරන්නට ගනී.

Related Posts Plugin for WordPress, Blogger...