Sunday, August 26, 2012

පිළිසිඳගැනීම






යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.

තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු සිනාවෙන් සිටි හැටි, ඇය මාල තොගයක බර දරාගෙන ඔහු හා ලැජ්ජාවෙන් සිනා වූ හැටි ඈට මතකය.

වෙහෙසකර වූ මංගල රාත්‍රිය, පසුදින තම නව ස්වාමියා/ආදරවන්තයාගේ සියුම් ආඩම්බරයක් මුසුවූ ආදරබර බැල්ම ඇයට මතකය. එදින සිට කෙතරම් දේවල් වෙනස් වූවාද කියා ඈට සිතා ගන්නට වත් නොහැකිය. 

ආදරවන්තයන් වූ කාලයේ වල් පල් කියවමින් දැවටි දැවටී සිටි ඔවුන් දැන් එදිනෙදා වැඩ වලින් හෙම්බත් වී ගෙදර පැමිණෙනුයේ මොකක් හෝ යමක් කා බී නිදාගන්නටය. 

එදා සිටි ආදරවන්තයා ඔහු කෙරෙන් පලා ගොස් ය. දැන් ඇය හා යහන් ගතවනූයේ නටබුන් වූ ආදරවන්තයෙකි, ඔහුට වෙහෙසය, ඉක්මනින් කිපෙන සුළුය, සෑම සියළු දෙයකටම උදාසීනය.

 පව්! 

ඈට සිතේ. ඔහු වෙහෙසෙන්නේ ඔහු සඳහාම පමණක් නොව 'අප' ගොඩ නැඟීමටය.

නමුත් 'අප' යන එකකය හට බාහිර පෙළඹවීම් වල නිමක් නැත. නැන්දම්මාට දරුවෙක් ඕනෑකර තිබේ. ඇගේ එකම අරමුණ ඔහුගේ මුහුණුවර ඇති දරුවකු සුරතල් කරන්නට ය. දුවෙක් නන් වඩා හොඳයි ලු. ඒ ඔහුගේ පවුලේ කොල්ලන් වැඩි නිසාලු. 

ඉල්ලුමට දරුවෙකු සපයනවා තියා ඔයාගේ පුතාට ගෙදර වැඩක් කරන්නවත් වෙලාවක් නෑ කියන්න ඈ හට කියන්න සිතුනත් තම ස්වාමියාගේ 'කාඩ්' කුඩු කරන්නට ඇයට නොසිතෙන්නේ ඔහුගෙන් ඈ හට කිසිදු වරදක් මේ වන තෙක් සිදු නොවී ඇති හෙයිනි.

ඔහු තාමත් නින්දේ ය...

ඔහුගේ අතරින් පතර මතුවී ඇති සුදු කෙස් එක දෙක, ඔවුන් තව දුරටත් විසි ගණන් වල පසුවන ජෝඩුවක් බව ඈට මතක් කර දෙන්නේ එක්තරා සුළු තිගැස්මක්ද සමඟිනි.

 නමුත් ඔවුන් මේ වනතුරු දින ගණන් කොට, වෙලාව බල, සියළු වෙද උපදෙස් අනුගමනය කර දරුවෙකු කුසට වඩම්මවා ගන්නට තැත් කරත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනිමේන් වූයේ ඇයි දැයි ඈ නොයෙක් වර පසු තැවුනාය.


ඒක ඕනෑ වෙලාවට වෙයි, ඔයා නිකන් කලබල වෙලා... හිතන්න එපා ඒ ගැන ඔහු මට පවසන්නේ මා සනසන අටියෙන්ද නැතහොත් තමාවම සනසා ගන්න අටියෙන් ද කියා ඈට සැකය. 

කාමරයේ එල්ලා ඇති දින කැපූ කැලැන්ඩරයේ රතු රවුමක් ඇඳපු දිනයට තව දවස් කිහිපයක් ඉතිරිව ඇති සෙයකි.

මේ.... පොඩ්ඩක් නැඟිටින්නකෝ... 

අද සෙනසුරාදා නේ... ඇයි මාව කලින් නැඟිට්ටවන්නේ? මහන්සියි අනේ පොඩ්ඩක් නිදා ගන්න දෙනවකෝ... ඔහු අඳෝනා නඟයි.

ඔහොම ගියොත් ළමයි හදයි! මේ අර දවසට තව දවස් ටිකක් තියෙනවා, ට්‍රයි කරමුද? 

හ්ම්... ඔහු තාම අඩ නින්දේය. 

"මෙහෙම ගියොත් අපිට අම්මාගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා... මට ඔෆිස් එකේ යාළුවෙක් කිව්වා ළමයි හම්බ වෙනනැති අයට හොඳ දේවාලයක් තියෙනවාලු. එකේ බාරයක් වුනාම හරි ලු."

"මොන දේවාලද අනේ මේ උදේ පාන්දර? ඊයේ හවස් වෙනකන් මීටින් තියල ලොක්කෝ මගෙ ඔළුව කන්වා, උදේට ඔයා මගේ ඔළුව කනවා... පොඩ්ඩක් එන්න අපි ටිකක් නිදා ගමුකෝ..."

ඈට ඔහුගේ උදාසීනත්වය ගැන සියුම් තරහාවක් ඇතිවනූයේ, කරදරය ඇත්තේ ඔහුගේ ම මවගෙන් නිසා ය. 

"ඔයා නන් මාර මිනිහෙක්... ඔයා ට බැරි නන් කියන්න මම ගිහින් අර දේවාලේ පූසාරිට කියලාවත් ළමයෙක් හදාගෙන ඔයාගේ අම්මාගේ ඔඩොක්කුවට ගෙනත් දාන්නන්. ඔයා ඔහොම ම නිදා ගෙන ඉන්න."

ඈ ඇඳෙන් නැඟිට ඉවත්ව ගියා ය.



Saturday, August 11, 2012

නුඹ







සඳක් වෙන්න බැරි නම් නුඹ හට


ඉරක් වෙන්න හැකිදෝ මා හට


වෙහෙස දැනෙන මේ ජීවිතේ...



නුඹට කියන්න ට දෙයක් නැත.


Sunday, August 5, 2012

ගේෂාව නම් ගැහැනිය






ගේශාව... 


හැඟීම් තහනම් වූ ව්‍යාජ සිනහාවකින් සැරසී ගත් මුවින් යුතු කත, ඇයට කඳුළක් සලන්නට අවකාශයක්, අයිතියක් නැත. මිනිස් දුවක වන්නට අයිතියක් නැත. ඇය ස්වාමි දියණියක නොවේ, විලාසිනියක ද නොවේ... 


ඇය  කලාකාරියකි. .. ශ්වේත වර්ණ වෙස් මුහුණක් පසුපස සැඟවී ගත් ඈ, පිරිපුන් රතු තොල් සඟලින්, විභාවනයෙන් තොර මුහුණින්, පුරුෂ හදවත් තුල ඇගේ ගුප්ත භාවයන් කෙරෙහි කුතුහලයක්, කැමැත්ත ඇති කරවයි.


රඟන්නී ඈ, ඇගේ සේවාදායකයාගේ තෘප්තිය තකා.... ආලයෙන් වෙලෙන්නී ඈ නොයෙක් වර, ඈ හමුවට එන පුරුෂ රූප හමුවේ... නමුදු සේවාදායකයා තම ගේශාව තොරා ගන්නා ලෙස ඇයට තම සේවාදායකයා තෝරා ගත නොහැක කිසි දිනෙක.


කාලය ගත වී ඈ පැළඳි කිමෝනාවේ රතු කොලරය සුදු වන දින දක්වා රඟන්නී ඈ,  තැන්පත්ව, සිනානොමසෙන වත දක්වා... 


ඇගේ කථාව ඈ හට කියන්නට අවසර නැත. ඇගේ ජීවිතය ගුප්තය, නිහඬය... ඈ කලාකාරියකි. ඈ ගේශාවකි.
Related Posts Plugin for WordPress, Blogger...