Tuesday, June 12, 2012

La Figlia Che Piange (The Weeping Girl)




පියපෙල හිනිමත්තේ සිට,
ගෙවත්තේ උස් වූ මල් පෝච්චියට හේත්තුවෙයන් නුඹ,
හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි,
වේදනාබර හදින් දෑතේ හිර කරගත් මල් පොකුර 
දමාගසමින් ,
ඉවතට හැරියන් ,
නුඹේ ක්ෂණික වූ කෝපාන්විත බැල්මකින් නෙත සරසා,
නමුත්, හිරුගේ රශ්මි කදම්භයන් ගොතපන්, ගොතපන් නුඹ නුඹගේ කෙස්සෙහි..

Saturday, June 2, 2012

රතු වත ඇඳි ඈ ,වෘකයා හා දැව කපන්නා




දරුවා නුඹ ගමනක් යා යුතුයි...

තමාට ලැබුනු නව රක්ත වර්ණ පිළියෙන් සැරසුනු තුරුණු ගැහැනු ලමයා ඇමතූ මව පවසයි. නුඹ දැන් රතු වතක් හිමි දැරියක්, නුඹ ගමන් ගන්නා අඳුරු වන මාර්ගය ගැන සැලකිලිමත් වෙයන්... නුඹට මා කියා දුන් උපදෙස් අනුව  ක්‍රියා කරපන්... මා පෙන්වා දුන් මාර්ගයෙන් එපිට ට නොයා හොඳ ලමයෙකු ලෙස නුඹ නුඹව රැක ගන්න ක්‍රියා කරපන්...

ඒ වන මගේ බියකරු සතුන් බොහෝමයි... නුඹ උන් හට ඇඳුනුම් කම් පෑමට වත් කථාවට වත් යන්න එපා දරුවෝ! උන් නුඹ රවටා වි,උන් නුඹව ගොදුරු කර ගනීවී....

අම්මා, මම පරිස්සම් වෙන්නම්...

රතු වත ඇඳි දැරිය අඳුරු මහ වනය මැදින් දිවෙන ඒ පටු මගේ ගමන් කරන්නට ගත්තාය. අම්මා කියූ තරම් මේ මහ වනය රුදුරු පෙනුමක් නැතැයි ඈට  සිතේ. මග දෙපස වනතුරු වසා නෙක සුවදැති වනමල් ය. වනයේ ඇතුලාන්තයට වන්නට ඉතා රුවැති මල් පඳුරු දකින ඈ ඉන් වශී වන්නීය.

ඈගේ මනස ඒ මල් වල වර්ණයන්ගෙන්, සුවඳින් පිරී යාමත් සමඟ ඇගේ නව යොවුන් සිතේ මවගේ අවවාද හෙමින් වියැකී යන්නට විය.

ඈ තුටින් පිනා ගිය සිත් ඇතිව ඒ මල් නෙලා ගැනුම පිණිස වන වැදුනා ය. නෙක වර්ණවත් කුසුමන් අතර සතුටු වන්නට ගත්තාය.

කුසුම් නෙලමින් සිටි ඈ හට වෘකයා මුන ගැසුණි...

වෘකයාගේ හැඩි දැඩි යොවුන් සිරුර හමුවේ ඈ මුසපත් විණි.

ඈ ඔහු දෙස බලා සිටියා ය.

ඒ දිලිසෙන තියුණු ආගන්තුක ඇස් දෙස ඇය නෙතු නොසලා බලා සිටියා ය.

නවම් වූ රතු වතක් ඇඳි රුවැත්තිය, ඇයි මේ වන මැද තනියම? ඔහු ඇය අමතයි...
මවගේ අමතක වූ වදන් මතින් ඈ ඔහු හා සංවාදයකට මුල පුරන්නී, ගමනක් යන ගමන්...  මේ මල් වලින් සැකසුනු මල් පොකුරක් හදා ගන්න, මල් ටිකක් කඩා ගන්න නැවතුනා....

ඔබ මේ වනයට කෝඩු කාරියක් නේද? ඇයි ඔබ පුරුදු මඟින් වෙන් වූයේ? ආගන්තුකයා ඇයට ලෙන්ගතු වෙයි. මේ වනය ඔබ වැන්නෙකුට අනතුරු දායකයි....  එන්න මා සමඟින්, මා නුඹව ආරක්ෂා කරන්නම්... මා වැන්නෙකු සමඟ සිටින විට කිසිවෙකු නුඹට හානි කරන්න එඩිතර වන්නේ නෑ....

ඔහු ගේ වදන් වල ලෙන්ගතුකම හා අවංකත්වය දෝංකාර දෙයි.

ආගන්තුක වෘකයා, ඇගේ සිත ඔහු කෙරේ විශ්වාසයක් ගොඩ නඟන්නට ද වනයේ අනෙකුත් වාසීන් කෙරෙහි අනියත බියක් ඇති කරන්නට ද මුල පුරයි.


ස්තූතියි... මට නුඹව විශ්වාසයි. ඇය ඔහු හට තම ගමනාන්තය ගැන විස්තර පවසයි.

ඔහු හා ගමන් ගන්නට ගනී. ඔවුන් එකිනෙකා ගැන ආ ගිය විස්තර කථා කරයි. ඇය තමන්ගේ හැඟුමන්, සිහිනයන්, සිත් තැවුල් ඔහු හා බේදා ගනී.

ඔහු සන්සුන් ලීලාවෙන් ඇය සනසමින්, ඇගේ විශ්වාසී අසන්නා, සනසන්නා වෙමින් ඇගේ ලඟ රැදෙමින් ඈ හා ගමන්නාතය ආසන්නය වනතෙක් ආවේය. හරි මම යන්නම්... නැවත දවසක හමුවෙමු යැයි පවසා වෘකයා වෙන්ව ගියේය. ඇය නැවත නැවත ඔහු හමු වීමට වනයට පියමැන්නේ ඇගේ මවගේ අවවාද ද නොතකාය.

එක් දිනක් උදා විය.


ඔහු පෙනෙන්නට නැත.

ඇය ඔහු සොයමින් වනයේ ඇතුලට ගමන් කලාය. ආදරණීය වෘකය, නුඹ කොහිද? ඈ විමසුවා ය. ඈ වැළපුනාය. වෘකයා පැමිණියේය. ඔහු වෙනස් ය. ලෙන්ගතු බව පහවූ රකුසු ඇස් දෙකක් ඇය දෙස බලා උන්නේය.

කාලය නිසි පරිදි සකස් වී ඇත. ඈ ඔහුව සපුරා විශ්වාස කරන්නීය. මම නුඹව අද ගොදුරු කරගන්නවා! වෘකයා ඇය අමතයි....ඈ  සන්සුන් ව බලා සිටියා ය. වෘකය මම නුඹ ට ආදරය කරනවා... නුඹට රිසියක් කරගන්න... ඈ බිදුනු හදින් ඔහුව අමතන්නීය...

වෘකයාගේ ගොදුර වූ ඈ, වෘකයාගේ අඳුරු ඇතුලාන්තයට වී සිහින් හඩින් ඉකි බිඳින්නීය... ඇගේ දෛවය ගන සිතමින් හඬන්නීය...

වනයේ දැව කපන්නා හට මේ හඬ ඇසිණි. වෘකයාගේ ඇතුලාන්තයෙන් එන ගැහැණු හඬ දැව කපන්නා  කෝප කරවයි. ඔහු වෘකයා මරා දමා ඔහුගේ ඇතුලාන්තයෙන් ඇයව මුදා ගනී.


රුවැත්තිය... නුඹ දැන් නිදහස්. දැවකපන්නා ලෙන්ගතු කමින් පැවසීය.


නුඹට ස්තූතියි... මාව මුදා ගත්තාට ඇය පවසයි. ඈ වෙනස් ව ගොස් ඇති සෙයක් ය.. වන‍යට පිවිසි ගැහැනු ළමයා දැන් නැත.

ඇය ඔහු හා හාද වෙයි. ඔහු හා ගමන් ගනී.දැව කපන්නානෙනි... නුඹට මහන්සි ඇති ඈ පවසයි. දෙන්න නුඹේ පොරව මම ටික දුරක් ගෙනයන්නම්, මට උදව් කරන්න ඉඩ දෙන්න...

මදහසකින් වත සැහැල්ලු කරගත් ඔහු ඇයට තම පොරව බාර දෙයි.

ඇය සිනාසුනා ය.

ඇය ගත් සැනෙන් දැවකපන්නාගේ පොරවෙන් ඔහුගේ ගෙල කපා සිනා සලමින් තවත් වෘකයන් හා දැවකපන්නන් සොයා වනය තුලට දිව ගියා ය.



Related Posts Plugin for WordPress, Blogger...